කොරෝනා පාලනය අතරතුර ලංකාවේ මානව හිමිකම් කඩ වෙලා නැද්ද?

කොවිඩ් 19 ගෝලීය වසංගත කාලය තුල අදහස් ප්‍රකාශ කිරිමේ නිදහස “සීමා කිරීම සඳහා පියවර ගැනීම” සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවද අයත් වන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචෙලෙට් මහත්මිය පහුගියදා ප්‍රකාශ කර තිබුණි.

ඉන් ගම්‍ය වන්නේ ශ්‍රි ලංකාව තුල මානව හිමිකම් ආරක්ෂා නොවන බවය. කොවිඩ් 19 ලංකාවේ පාලනය කරන අතර මෙරට මානව හිමිකම් කඩවෙමින් පවතින බව මීට පෙර ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනි මහාචාර්ය දීපිකා උඩගම මහත්මියද ප්‍රකාශ කර තිබුණි. ඇය ඒ් බව සඳහන් කොට වැඩ බලන පොලිස්පතිවරයා වෙත ලිපියක්ද යොමු කර තිබුණාය.

ඒ් අන්තර්ජාලය හරහා අසත්‍ය හා ද්වේෂ සහගත ප්‍රකාශ පළ කරන අයට එරෙහිව සහ රජයේ නිලධාරීන්ගේ රාජකාරිවලට බාධා වන පරිදි ඔවුන්ගේ සුළු අඩුපාඩු විවේචනය කිරීම/මතුකර පෙන්වන තැනැත්තන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අප්‍රේල් පළවෙනිදා පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කර තිබු නිවේදනයද සැලකිල්ලට ගනිමිනි.

ඇයගේ ලිපියට යහපත් ප්‍රතිචාරයක් හිමි නොවු අතර දිගින් දිගටම ඇඳිරි නිතියට මුවා වී පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම්, අදහස් ප්‍රකාශ කිරිම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය. ඒවන් පසුබිමක් තුල ඒක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ මහ කොමසාරිස්වරිය ද ලංකාවේ මානව හිමිකම් කඩවීම ගැන සඳහන් කර ඇත්තේය. ඇයගේ මෙම ප්‍රකාශයත් සමග මෙරට රජය කිසියම් තිගැස්මකට ලක්ව ඇත. ඒ් නිසා වහාම ජිනීවාහි එක්සත් ජාතීන් සඳහා ශ්‍රී ලංකා වැඩබලන නිත්‍ය නියෝජිත දයානි මෙන්ඩිස් මහත්මිය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචෙලෙට් වෙත ලිපියක් යවමින් ලංකාවට නඟා ඇති චෝදනා සම්බන්ධයෙන් අවධානය යොමු කොට ඇත.

විශේෂයෙන්, COVID-19 වසංගත කාලසීමාවේදී, මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය මත වැරදි තොරතුරු හා සාවද්‍ය තොරතුරුවලට එරෙහිව කටයුතු කිරීමට සියලු රටවල් සහ රජයන් පියවර ගැනීම අත්‍යවශ්‍ය වී තිබු අතර මෙම ක්‍රියාමාර්ග 2020 මැයි 18 වන දින ලෝක සෞඛ්‍ය සම්මේලනයේදී (WHA) සම්මත කරන ලද COVID-19 ප්‍රතිචාරය පිළිබඳ සම්මුති යෝජනාවලියට අනුකූල වන බවද ඇය කියා ඇත. මෙමඟින් COVID-19 පිළිබඳව ජනතාවට විශ්වාසදායක හා සවිස්තරාත්මක තොරතුරු ලබා දෙන ලෙසත් වැරදි තොරතුරු හා සාවද්‍ය තොරතුවලට එරෙහිව පියවර ගන්නා ලෙසත් සාමාජික රටවලින් ඉල්ලා සිටී බවද ඇය ඒම ලිපියෙන් කියා සිටියි.

2020 අප්‍රෙල් 01 වන දින ශ්‍රී ලංකාවේ වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත් කරන ලද අභ්‍යන්තර නියෝගයේ අන්තර්ගතය පැහැදිලි කරමින්, අවධාරණය කර ඇත්තේ මෙම නියෝගය මගින් රජයේ සේවකයෙකුට ඔහුගේ / ඇයගේ රාජකාරිය ඉටු කිරීමේදී බාධා කිරීම, රජයේ සේවකයෙකුට වැරදි සහගත ලෙස අවහිර කිරීම, රජයේ සේවකයෙකු ඔහුගේ / ඇයගේ රාජකාරිය ඉටු කිරීමෙන් වළක්වා ගැනීම සඳහා සාපරාධී බලය යෙදවීම, නිරෝධායන නියෝගයකට අකීකරු වීම සහ පරිගණක තාක්ෂණය භාවිත‍යෙන් මහජන නීතිය හා සාමය හා නිරෝධායන ක්‍රියා පටිපාටිවලට බාධා ඇතිකරන ක්‍රියාවන් සිදුකිරීම්වලට අදාළවන නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් හැර “හුදෙක් විවේචන හෝ ව්‍යාජ හෝ ද්වේෂ සහගත පණිවුඩ හුවමාරු කර ගැනීම හේතුකොටගෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට උපදෙස් දී නොමැති බවය.

රජය විසින් මෙම පියවර ගෙන ඇත්තේ නිසි නීති ක්‍රියාවලියට අනුකූලව සහ මහජන ආරක්ෂාව සහ සෞඛ්‍යය වෙනුවෙන් මෙම වසංගත කාලසීමාවේදී සමාජයේ සියලු කොටස්වලට හානියක් සිදුකොට ඇති හෝ බලපෑම් ඇතිවීමට ඉඩකඩ ඇති අසත්‍යයන් මැඩපැවැත්වීමේ අරමුණින්” බවද ඒම ලිපියෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම්ද ඉන් අවධාරණය කර ඇත. ජිනීවාහි එක්සත් ජාතීන් සඳහා ශ්‍රී ලංකා වැඩබලන නිත්‍ය නියෝජිතවරියගේ මෙම ලිපිය දකින විට අපගේ සිහියට නැගෙන්නේ ජිහාඩයක් සඳහා සුදානම් වන ලෙසට අන්තර්ජාලයේ සටහනක් යෙදු රම්සි රාසීක් නම් සමාජ ක්‍රියාධරයාගේ පොලිස් අත්අඩංගුවට පත් වීමය. ඔහු මුහුණු පොතේ යෙදු සටහනක් නිසා අදටත් රක්ෂිත බන්ධනාගර ගතව ඇත්තේය. 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) යටතේ අත්අඩංගුවට ගෙන ඇති ඔහුට ඔහුගේ මුලික අයිතිවාසිකම් අද කඩවී ඇති බව මේ රජයේ කිසිවෙකු සිතන්නේ නැත.

රජය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කර්යාලය වෙත යවා ඇති ලිපිය විහිලුවක්දෝ කියා සිතෙන්නේ ඒ් රම්සි රාසීක් වැනි පුද්ගලයින්ගේ අත්අඩංගුවට පත් වීම් ගැන සිතන විටය.

-ශානිකා-

Social Sharing
නවතම විශේෂාංග