ගවයන්ගෙන් නිදහස් වෙමු – අනුරුද්ධ ප්‍රදීප්

ලංකාවේ ගව ඝාතනය පිළිබඳ ප්‍රශ්නය පැන නැගී ඇත්තේ ගෘහස්ථව ගවයන් ඇති කිරීමේ පරණ පුරුද්ද තවමත් අප පවත්වාගෙන යන නිසාය. ඉස්සර ගවයා, අපේ පවුලේම කෙනෙකි. ඉතින් පිරිමි සතා කෘෂිකර්මයට (සීසෑමට හා ගොයම් පෑගීමට) හා ප්‍රවාහනයටත් (කරත්තය බැඳීමට හා තවලමට) යොදාගත් අතර, ගැහැණු සතාගෙන් කිරි සහ පැටව් ලැබුණි. දැන් ප්‍රශ්නය උද්ගත වී ඇත්තේ කාර්මීකරණය නිසා ට්‍රැක්ටර් සහ ලොරි නිර්මාණය වීමෙන් පිරිමි සතාගෙන් කිසිදු ප්‍රයෝජනයක් නැති තත්ත්වයක් ඇති වී තිබීමය.

ඒත් කිරි ගන්නට හදන එළදෙනුන්ට උපදින පැටවුන්ගෙන් අඩක්ම පිරිමි සතුන්‍ ය. ඉතින් එපා එපා මස් කන්නට කිරි අම්මාගේ කියා කිව්වාට, ඒ පිරිමි පැටවුන් ඒ එළදෙනුන් හදන අයට මහ බරකි. ඉතින් උන්ව නානාට විකුණන්නේ නැතිනම් එක්කෝ උන්ව මැරෙනකන්ම කන්න දිදී බලාගන්න ඕනෑය. නැතිනම්, බලු හා බලල් පැටවුන් පාරේ අතහැර යනවාක් මෙන් උන්ව අතහැර යන්න ඕනෑය.

එහෙම කිසිදු ප්‍රයෝජනයක් නැති සතෙක්ට, මැරෙනකම් කන්න දිදී බලාගන්නවා කියන එක පහසු වැඩක් නොවේ. එමෙන්ම හරක් ඉබාගාතේ යවන එකත් කොයි අතින්වත් යහපත් දෙයක් නොවේ. උන් නගරවල මිනිසුන්ට විශාල කරදරයක් වන අතර කැලෑබදව ගත්විට වන අලි වැනි සතුන්ට විශාල හානියකි.

මේ ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ ගෘහස්ථව හරක් ඇති කිරීම නිසාය. පෞද්ගලික අනුකම්පාවත්, සමාජ අපවාදයත් නිසා මසට යන බව දැන දැනම අපේ මිනිසුන්ට වහු පැටවුන්ව විකිණීමට හිත හදා ගත නොහැකිය. ඉතින් තවත් කල් යත්දී, හරක් මැරීම තහනම් නොවුනත්, වෙන්න නියමිත වන්නේ පිරිමි සතුන්ව ඉබාගාතේ යාම පිණිස අත හැර දැමීමය.

මීට පිළිතුර ගොවිපළවල පමණක් ගවයන් ඇති කිරීමය. අඹේවෙල හෝ පැලවත්තේ මෙහෙම ප්‍රශ්නයක් නැත. ඒවායේ එළදෙනුන්ට උපදින පැටවුන්ගෙනුත් භාගයක් පිරිමි සතුන් වුවත්, ඒ ගොවිපලවල වැඩුණු පිරිමි ගවයන් දක්නට නැත. ඒ ඒවායේ පිරිමි පැටවුන්ව “කළමනාකරණය” කරන නිසාය. ඒ ගැන කවුරුත් විරෝධයක් පාන්නේද නැත. ඒ වෙනුවට ඇත්තෙන්ම නම් අපේ සිංහල බෞද්ධයෝ පැලවත්ත වැනි ඒවා ගැන ආඩම්බරද වෙති.

ඒ වගේම මැලිබන් කිරි අනුග්‍රහයෙන් ගවයන් නිදහස් කිරීමේ මහා පින්කම්ද සිදුවනු දැක ඇත්තෙමි. ඒ මැලිබන් කිරි ගෙන්වන්නේ ඕස්ට්‍රේලියාවෙන්‍ ය. ඒ ගොවිපලවලද පිරිමි සතුන් දකින්නට නැත. ඒ ගැන අපේ අය කලබල වන්නේ නැති අතර මැලිබන් පින්කම්වලට ශ්‍රද්ධාවෙන් සහභාගීද වෙති.

අපි මස් කමු. නමුත් අප විසින්ම සතෙක් මරාගෙන කන්නේ නැත. ඒ කුහකකම නොවේ මානව ශිෂ්ටත්වය වර්ධනය වී ඇති විදියය. මුස්ලිම් වැනි අය හැරුණු විට අනෙත් බොහෝ අයද අප වාගේමය. සතුන්ව කවා පොවා හදාගෙන ඌව මරන් කන්නට හෝ මරන්නට දෙන්නට පුද්ගලිකව අපට නොහැකිය.

මහවැලි සංවර්ධන ව්‍යාපාර කාලයේදී ඒ නිසා තමන්ට දඩබිම් අහිමි වෙන බවට වැද්දෝ මැසිවිලි නැගූහ. ඊට පිළිතුරු ලෙස නිලධාරීන් කීවේ සත්ත්ව පාලනය පටන් ගන්නා ලෙසයි. කවාපොවා ඇති දැඩි කොට පසුව උන්ව මරාගෙන කන්නේ කෙසේදැයි වැද්දෝ විමතියෙන් ප්‍රශ්න කළා යැයි කියවේ. “එහෙම පුළුවන්නම් අපේ කැකුලො කැකුලියොත් මරන් කන්න පුළුවන්නේ මහත්තයෝ” යැයි ඔවුන් කියා ඇත.

මිනිස්සුන්ගේ හැටි එහෙමය.

ගවපාලනය තවදුරටත් ගෙවල්වල පුද්ගලිකව කළ හැකි දෙයක් නොවේ. ලේ නොගෑවී කරන්නට ගියහොත් එය ආර්ථික අතින් තාර්කික නැත. ආර්ථික අතින් ඵලදායි කරන්නට ගියහොත් සංස්කෘතික හා සාමාජීය ගැටළු මතුවේ.

ඒ නිසා හරක්ව දැන් නිදහස් කර ගත යුත්තේ ගෙවල්වලිනි. එසේ නැතිව අනෙක් අතට කිවහොත් හරකුන්ගෙන් මිනිසුන්ව නිදහස් කර ගත යුතුය.

ඉස්සර වී කෙටුවේ ගෙවල්වලය. දැන් මෝලේය. ඉස්සර හරක් හැදුවේ ගෙවල්වලය. දැන් උන්ව හැදිය යුත්තේ ගොවිපළවලය.

  • අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරියගේ මුහුණු පොතෙනි,
Print Friendly, PDF & Email

Related posts

Leave a Comment