පාර්ලිමේන්තුව, විහිළුවට හාස්‍යයට ලක්කරගත යුතු තැනක් නෙමෙයි  – සදීශා ධර්මප්‍රේම.

පාර්ලිමේන්තුව, විහිළුවට හාස්‍යයට ලක්කරගත යුතු තැනක් නෙමෙයි - සදීශා ධර්මප්‍රේම.

පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් දිගු කාලයක් අධ්‍යයනය කරමින් ඉන්න  පර්යේෂිකාවක් ලෙස පාර්ලිමේන්තුවේ නියෝජිතයන් කටයුතු කරන්නෙ කොහොමද කියන එක ගැන පළමුවෙන් දැනගන්න කැමතියි.

පාර්ලිමේන්තුව කියන්නේ රටේ තියෙන උත්තරීතරම ආයතනය.  මොකද අපි හැමදෙනාටම බැහැනේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා අපි වෙනුවෙන් කතා කරන්න. ඒ නිසා තමයි අපි තව කෙනෙකුට ඡන්දෙ දීලා ඔහු අපේ නියෝජිතයා ලෙස යවන්නෙ. එහි දී ඔහු අපිව නියෝජනය කළ යුතුයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි යවපු සමහර නියෝජිතයින් අඩුම තරමින් පාර්ලිමේන්තුවේ කතා කරලවත් නැහැ.

පහුගිය කාල වකවානුව දිහා බලනකොට අඩු තරමේ පාර්ලිමේන්තුවට පැමිණ නැති අයත් ඉන්නවා. අපි දන්නවා මාස තුනක් එක දිගට පාර්ලිමේන්තුවට ආවෙ නැති උනොත් ඔවුන්ගේ මන්ත්‍රීධුරය අහෝසි වෙනවා. ඉතින් ඒ හේතුව මත මාස තුන සම්පූර්ණ කරගන්න විතරක් පාර්ලිමේන්තුවට පැමිණෙන සමහර මන්ත්‍රීවරු අපි දකිනවා. ඒක ඇත්තටම ප්‍රශ්නයක්.

මොකද හැමදාම පාර්ලිමේන්තුව පැවැත්වෙන්නේ නැහැනේ. මාසෙකට දවස් අටක් විතර බොහෝ වෙලාවට පාර්ලිමේන්තුව තියෙන්නෙ, අයවැය විවාද කාලයේ හැර. ඉතින් එහෙම බලනකොට පාර්ලිමේන්තු පැමිණීම ඉතාම වැදගත් වෙනවා. මේ සම්බන්ධව බලනකොට තව කෙනෙක්ට කියන්න පුළුවන් හැමදාම පාර්ලිමේන්තුවට යන්න බැහැ.

මොකද වැදගත් දේවල් කතා කරන්නෙ නැහැ. සමහර විට ඒ මන්ත්‍රීවරයාට ඊට වඩා ගමේ වැඩ තියෙනවා. පාරක් හදන්න තියෙනවා, මළ ගෙවල් වල යන්න තියෙනවා. මේ වගේ දේවල් කියන්න පුළුවන්. මේ වගේ අදහස් පළ කරන්න පුළුවන් හැබැයි අපි මෙතනදි තේරුම් ගන්න ඕන දේ තමයි අපි පාර්ලිමේන්තුවට යම්කිසි නියෝජිතයෙක් යවන්නේ රටේ සියලුම නීති සම්පාදනය කරන්න.

ඊට අමතරව අපිට පොඩි ගැටලුවක් තියෙනවා මේ ශ්‍රේණිගත කිරීම්වල දී විශේෂයෙන් මොකද manthri.lk අපිට අවස්ථාව ලැබිලා තියෙන්නේ ප්‍රධාන සභා ගර්භයේ කතා කරන සහ ඔවුන් ඉදිරිපත් කරන ප්‍රශ්න ඒ දේවල් දිහා බලන්න විතරයි. හැබැයි අපිට අවාසනාවකට වගේ තාමත් අවස්ථාව ලැබිල නැහැ කාරක සභාවල තොරතුරු ගන්න.

ඉතින් මං හිතනවා ඒ පිළිබඳ තොරතුරු මින් ඉදිරියට අපිට ගන්න පුළුවන්කමක් ලැබුණොත් මීට වඩා හොඳ විශ්ලේෂණයක් පාර්ලිමේන්තුව පිළිබඳව අපට දෙන්න පුළුවන් වෙයි කියලා.

අපි දැක්කා පහුගිය විශේෂයෙන්ම මේ යහපාලන කාලය තුල රනිල් වික්‍රමසිංහ ඔහුගේ සංකල්පයක් විදියට තමයි කාරක සභාවල සභාපති තනතුරු වගේ දේවල් විපක්ෂයට දුන්නේ. එතකොට කාර්යක්ෂමව වැඩ කරයි සහ ඒවායින් තිබුනට වැඩිය ඵලදායී සේවයක් පාර්ලිමේන්තුවට වෙයි කියලා ප්‍රතිපත්ති සම්පාදනයෙදි. එහි තත්ත්වය කොහොමද ?

ඇත්තටම එතනදි තමයි මං අර කලින් කියපු ගැටලුව මතු වෙන්නේ. එතනදී විනිවිදභාවය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඇත්තටම පාර්ලිමේන්තු කාරක සභා කියන්නේ හොඳ සංකල්පයක්. ඒත් අවාසනාවකට වගේ අපිට බැහැ ඒකෙ මොනවද වෙන්නේ කියන එක මහජනතාව විදියට බලාගන්න. ඒකට අවස්ථාවක් නැහැ.

මොකද අපි දකිනවා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ වුණත් ඔවුන් සමහර වාර්තා පළ කරනවා. හැබැයි සමහර වාර්තා පළ කරන්නේ නැහැ. අඩුම තරමේ ඒ කාරක සභාවලට පැමිණෙනවා ද නැද්ද කියන එක පවා අපිට බලා ගැනීමේ පොඩි අපහසුතාවක් තියෙනවා. ඒ කියන්නේ කාරක සභාවක සිද්ධවෙන දේ විනිවිද භාවයකින් තොරයි කියලා තමයි අපිට කියන්න තියෙන්නේ.

ඒ නිසා අපිට හරියාකාරව ඒ දේවල් සිද්ධ වෙනවාද නැද්ද කියන එක විශ්ලේෂණය කිරීමේ අපහසු තාවයක් තියෙනවා.

ඉදිරි පාර්ලිමේන්තුවේදීවත් අඩුම තරමේ මේ දැන් හැන්සාඩ් වාර්තාව එළියට ආවා වගේම කාරක සභාවල වාර්තා මිනිස්සුන්ට දැකබලා ගන්න පුළුවන් මට්ටමට ගේන්න පුළුවන් වුනොත්, ඒ හරහා ඇත්තටම මේ කාරක සභා ප්‍රයෝජනවත්ද? එහෙම නැත්නම් මේකෙ වෙනස් වෙන්න ඕන දේවල් තියෙනවද? නැත්නම් මේව වැඩක් නැද්ද? කියන එක තීරණය කරන්න. මං හිතනවා එහෙම නැතුව අපි ඒක හොඳද නැද්ද කියල තීරණය කරන එක එක්තරා විදියකට අසාධාරණයි කියලා.

මීළඟට අපි දැක්කා සමහර කාරක සභා ජන මාධ්‍යට විවෘත වුණා මේ අවසාන කාලෙදි. ඒවායින් මොනාහරි සාධනීය ප්‍රතිඵල තියෙනවද ?

ඇත්තටම manthri.lk විදිහට අපි තවම එවැනි අධ්‍යයනයක් කරලා නැහැ .ඉතින් පහුගිය කාලේ අපි දැක්කා රූපවාහිනි මාධ්‍ය වල එහෙම නැත්නම් සමාජ මාධ්‍ය වල මේ කාරක සභාවල වීඩියෝ දර්ශන එලියට ඇවිල්ල තියෙනවා සහ ඒවා සජීවිව විකාශය වුණා.

ඇත්තටම ඒක සතුටුදායක කරුණක්. මොකද ඒ තුලින් මහජනතාවට යම්කිසි ආකාරයක කොයි විදියට ද මේ කාරක සභා වල වැඩ කටයුතු සිද්ධ වෙන්නෙ කියන එක දැනගන්න පුළුවන් වුණා. හැබැයි ඒක සමස්තය නොවන නිසා සහ අපි ඒ ගැන විශ්ලේෂණයක් නොකළ නිසා ඒ ගැන ලොකු අදහසක් දක්වන්න මේ වෙලාවේ අපහසුයි.

කාන්තා නියෝජනය ගැන පසුගිය කාලේ සෑහෙන්න කතා කළා. දැන් තරුණ නියෝජනය ගැන කතා කරනවා. හැබැයි මේ දෙකේම අපිට පේන්නේ රටේ දේශපාලනයේ සෑහෙන කාලයක ඉඳන් නිරතවෙන පවුල්වල පිරිස් විතරයි මේකට එන්නෙ. එහෙම නැතුව එළියේ සක්‍රීයව දේශපාලනය කරන පිරිස් වලට පවා නාම යෝජනා ගැනීමේදී ලොකු ප්‍රශ්නයක් තියෙනවා, මේ පවුල් ආධිපත්‍යය නිසා. ඔබේ මේ අධ්‍යනයන් මගින් කොහොමද මේක අඳුර ගත්තේ, ලංකාවේ දැන් තියෙන පවුල් දේශපාලනය විශේෂයෙන්ම වර්තමානයේ අපි දන්නවා රාජපක්ෂවරුන් ගත්තොත් ඒ පවුලේ සෑහෙන පිරිසක් සක්‍රීයව දේශපාලනයට ඉදිරිපත් වෙලා තියෙනවා. මේකෙන් ලංකාවේ දේශපාලනයට වන බලපෑම මොකක්ද?

ඇත්තටම ලංකාවේ මේ වෙනකොට අපි දකිනවා පවුල් සබඳතා තුළින් දේශපාලනයට පිවිසෙනවා. ඒ වගේම තමයි පාර්ලිමේන්තුවටත් එනවා. එතකොට අපි සමාජ මාධ්‍ය සහ අනෙකුත් මාධ්‍ය දිහා බලනකොට අපිට පැහැදිලිව පේනවා කොයි විදිහටද මේ පවුල් සම්බන්ධතා තියෙන අය මෙවරත් මැතිවරණට ඉදිරිපත් වුණේ කියලා.

ඉතින් අපි ආපහු බැලුවොත් පහුගිය අටවැනි පාර්ලිමේන්තුවේ පවුල් සම්බන්ධතා තියෙන හැත්තෑ එක් දෙනෙක් (71) සිටියා. ඒ වගේම තමයි ඒකත් අපි තව කොටස් වශයෙන් කිව්වොත් එහෙම එක විවාහක යුවළක් හිටියා. සහෝදර යුගල හතරක් හිටියා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දරුවන් හෝ ළඟම ඥාතීන් එහෙම පිරිස් තිස් දෙදෙනෙක් (32) හිටියා.

ඒ වගේම තමයි දහදෙනෙක් (10) ඉන්නවා තුන්වැනි පරම්පරාවේ මන්ත්‍රීවරු. ඔය විදිහට අපිට කීපදෙනෙක් අඳුනගන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් මේ අපිට සොයාගත හැකි වූ දත්ත පමණයි.

සමහර විට මේ සම්බන්ධතා ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන් අනිවාර්යෙන්ම. වර්තමාන පාර්ලිමේන්තුවේ තත්ත්වයත් අපිට මෙහෙම සොයා බලන්න පුලුවන්.

විශේෂයෙන් කාන්තා නියෝජනය ගොඩක් වෙලාවට දේශපාලන පසුබිම මත ආපු බවක් අපට හඳුනා ගන්න පුළුවන්. ඒත් එක්කම තවත් කෙනෙක්ට ප්‍රශ්න කරන්න පුළුවන් මේ දේශපාලන පසුබිමකින් ආවොත් විතරද වැඩ හොඳට කරන්නේ, දේශපාලන පසුබිමක් නැති කෙනෙකුට තමන්ගේ කාර්යය හොඳින් කරන්න බැරිද කියලා.

ඇත්තටම ඒක කතා කරන්න කලින් පුළුවන් නම් අපේ වෙබ් අඩවියට ගිහින් බැලුවොත් ඔවුන්ට දේශපාලනය හොඳට කරන්න පුළුවන්ද බැරිද කියන එක අපිට බලාගන්න පුළුවන්.  මෙතැනදී මම කෙටි පැහැදිලි කිරීමක් කරන්නම්. මේක මගේ පෞද්ගලික අදහස. මෙතැනදී පාර්ලිමේන්තුව නියෝජනය කරනවා කියන එකයි දේශපාලනය කරනවා කියන එකයි මිනිස්සු පටලවගෙන තියෙනවා කියලා මට හිතෙනවා.

මොකද අපි හැමවෙලේම උත්සාහ කරන්නේ ගෙදරට, ගමට එහෙම නැත්නම් අපේ කාට හරි රස්සාවක් දුන්නහම, නැත්තං අපේ ගමේ පාරක් හැදුවහම අන්න එයා තමයි හොඳම දේශපාලනඥයා. එයා තමයි අපි පාර්ලිමේන්තුවට යවන්න ඕන. හැබැයි අපි හිතන්නෙ නැහැ ඒ දේවල් කරන්න තව පිරිස් ඉන්නවා.

එහෙම නැත්නම් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයා මොකටද පාර හදන්න. පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයා ඇයි රස්සාවක් දෙන්නේ. ඒ ගැන අපි තව පාරක් හිතන්න ඕනේ.

ඇත්තටම පාර්ලිමේන්තුවට නියෝජිතයෙක් යවන්න ඕනේ රටේ සමස්ත ප්‍රතිපත්ති, නීතිය පිළිබඳ තීන්දු තීරණ ගන්න මිසක් අපේ පෞද්ගලික ඕනෑ – එපාකම් ඉෂ්ට කරන්න ද කියන එක ගැන අපි විශේෂයෙන් හිතන්න ඕන. ඉතින් ඒ ගැන හිතනවා නම් අනාගතයේදී හොඳ දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරගන්න පුලුවන් වෙයි.

එතකොට නීති සම්පාදනය කියන කාරණය ගත්තහම අපි දන්නවා පවුලේ සාමාජිකයෝ තමයි කාරක සභාවල ප්‍රධාන තනතුරුවලට පත් කරන්නේ. කාරක සභාවල සමහරවිට සාමාජිකයෝ කිහිපයක් ඉන්නත් පුළුවන් එක පවුලේ. එහෙම ගත්තහම විශාල බලපෑමක් සිද්ධ වෙනවා නීති සම්පාදනයට මේ පවුල තුළින්. ඒක කොහොමද පර්යේෂිකාවක් විදිහට ඔබ දකින්නේ ?

දැන් ඕනෙ කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ විදිහේ පවුලේ අය එව්වට පස්සේ ඒ අයගෙන් යම් පක්ෂපාතීකම් සිද්ධ වෙනවා කියලා. හැබැයි මම මතක් කරන්න කැමතියි මේ අය පාර්ලිමේන්තුවට ගියෙ කොහොමද? එතකොට මේ විදිහේ පවුල් සබඳතා තියෙන අය පාර්ලිමේන්තුවට යැව්වා නම් අපි මේ දෙය අපේක්ෂා කරන්න ඕන.

අනිත් එක අපි හරියටම දන්නේ නැහැ මේ අය පක්ෂපාතී විදියට හැසිරෙනවද නැද්ද කියලා. අපිට ඒක බොහොම සරල විදිහට කියන්න බැහැ. එළිපිට දකින්නත් නැහැ. මොකද ඒවා මිනිස් සබඳතා. මිනිස් සබඳතා අපට ගණනය කරන්න බැහැ. හැබැයි අපිට පුළුවන් වෙන්න ඕන මහජනතාව නැත්තං ඡන්දදායකයන් විදිහට මේ දේවල් තේරුම් ගන්න.

අපි තමයි ඒ වැරැද්ද කරන්නේ. මම ඡන්දෙ දුන්න නම්, මමයි පවුල් පාලනය පාර්ලිමේන්තුවට අරගෙන ගිහිල්ලා තියෙන්නෙ. ඉතින් එතැනදී පක්ෂපාතී කම් සිදු වුනත් අපිට දේශපාලනඥයින්ට චෝදනා කරන්න බැහැ, ඒක ඡන්දදායකයන්ගේ වැරැද්ද විදියටයි මම දකින්නේ.

පාර්ලිමේන්තු සමග දීර්ඝ කාලයක් තිස්සේ වැඩ කරමින් ඉන්න කෙනෙක් විදියට ඔබේ අදහස මොකක්ද පාර්ලිමේන්තුව සම්බන්ධයෙන්, මම ඇහුවොත් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ටවත් අදහසක් තියෙනවද පාර්ලිමේන්තුව කියන්නේ මොකක්ද එහි කාර්යභාරය විය යුත්තේ මොකද්ද කියන දේ සම්බන්ධයෙන්…?

ඇත්තටම ලංකාවෙ පාර්ලිමේන්තුව ගත්තහම අපිට පිටින් ඉඳන් බලන කෙනෙක්ට හිතෙන්න පුළුවන් විශේෂයෙන් ජනමාධ්‍ය නිසා, මේ පාර්ලිමේන්තුව කියන්නේ වැඩකට නැති ආයතනයක් කියලා. ඒක තමයි පහුගිය කාලේ 225 ම එපා, පාර්ලිමේන්තුව ඕනේ නැහැ බෝම්බ ගහමු වගේ දේවල් කිව්වේ.

නමුත් පර්යේෂණ කණ්ඩායමක් විදිහට manthri.lk අපි දකිනවා පාර්ලිමේන්තුව තුළ වැඩ සිද්ධ වෙනවා. හැබැයි මාධ්‍ය මේ දේවල් වාර්තා කරන්නේ නැහැ. ඒක හරිම අවාසනාවන්ත තත්ත්වයක්. මොකද ගොඩක් වෙලාවට මිනිස්සුන්ට විනෝද ලබන්න පුළුවන් දේවල් විතරක් පාර්ලිමේන්තුවේ වෙන විදිහටයි මාධ්‍ය මගින් පෙන්නන්නේ.

ඉතින් ඒ අවස්ථාවෙන් මන්ත්‍රීවරුත් උපරිම ප්‍රයෝජන ගන්නවා. ඒ අයත් වැඩිපුර අවස්ථාවන් ලබා ගෙන කතා කරනවා. හැබැයි පාර්ලිමේන්තුව කියන්නේ ඇත්තටම ඒ විදිහෙ තැනක් නෙවෙයි. අපි විශේෂයෙන් මහජනතාව විදියට තේරුම් ගත යුතුම දෙයක්. පාර්ලිමේන්තුව කියන්නේ ඉතාම වැදගත් තැනක් සහ වැදගත් විදිහේ දේවල් පහුගිය කාලය පුරාම සහ දැනටත් සිද්ධ වෙච්ච තැනක්.

එහෙම නැතුව බොහෝ මාධ්‍ය මගින් නැත්නම් සමාජ මාධ්‍ය තුළින් පෙන්නන විදිහේ විහිළුවට හාස්‍යයට ලක්කරගත යුතු තැනක් නෙමෙයි පාර්ලිමේන්තුව. ඉතිං අපි දකිනවා ගොඩක් වෙලාවට පාර්ලිමේන්තුවේ ප්‍රශ්න නගන වෙලාවල් වලදි එහෙම නැත්නම් මුල්කාල ප්‍රමාණය විතරයි ගොඩක් වෙලාවට මාධ්‍යයෙන් ආවරණය වෙන්නෙ.

හැබැයි එතනින් පස්සේ වෙන කිසිම කතාබහක්, විශේෂයෙන් කල්තැබීමේ යෝජනා වගේ දේවල් මාධ්‍ය තුළින් ආවරණය වෙනවා හරි අඩුයි. අන්න ඒ නිසා ගොඩක් මන්ත්‍රීවරු මේ කල්තැබීමේ යෝජනා මග හරින තත්ත්වයක් අපිට පේනවා.

හරිම අඩු දායකත්වයක් තියෙන්නෙ. ඒක ඔබට manthri.lk වෙබ් අඩවියට ගියොත් පැහැදිලිම බලාගන්න පුළුවන්. කොයි කොයි මන්ත්‍රීවරුන්ද මේ කල් තැබීමේ යෝජනාව වලට සහභාගි වෙලා තියෙන්නෙ කියලා. ඒක හරි අඩු ප්‍රතිශතයක්.

ඉතින් ඒ වගේ අවස්ථා ඕනේ තරම් තියෙනවා පාර්ලිමේන්තුවේ දී තමන්ගේ දක්ෂතා එහෙම නැත්නම් තමන්ගෙ මතයන් ඉදිරිපත් කරන්න. කෙනෙක්ට හිතෙන්න පුලුවන් මට මගේ පක්ෂයෙන් අවස්ථාව ලැබෙන්නේ නෑ එහෙම නැත්නම් ආණ්ඩු පක්ෂයේ ඉන්න අයට වැඩි අවස්ථාවක් ලැබෙනවා. නැත්නම් විපක්ෂය නියෝජනය කරනවා නම් ඒ අයට අවස්ථාව නැහැ කියලා.

නමුත් එහෙම කියන්න බෑ මොකද සමහර විට තමන්ටම පෞද්ගලික පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන්න පුළුවන් එහෙම නැත්නම් පෙත්සම්, සභාව කල්තැබීමේ යෝජනා සඳහා ඉදිරිපත් වෙන්න පුළුවන්. අපි අත්දැකීමෙන් දැකලා තියෙනවා එහෙම මන්ත්‍රීවරු ඉස්සරහට ඇවිල්ල තියෙනවා. ඇත්තටම කියන්න සතුටුයි සමහර මන්ත්‍රීවරු ඉන්නවා මුල් කාලේ ඉතාම අඩුවෙන් දායකත්වය දක්වපු.

අපි ඒවා වාර්තා කරලත් තියනවා. හැබැයි අද වෙනකොට ඔවුන් ඉහළම දායකත්වය වෙනුවෙන් අපෙන් සම්මාන පවා ලබා ගෙන තියෙනවා.

දැන් මතයක් තියෙනවා පාර්ලිමේන්තුවේ තුළ ඉන්න මන්ත්‍රීවරුන්ගේ උගත්කම ගැන. මේ අයට අධ්‍යාපන සුදුසුකම් නැහැ කියලා අපි කතා වෙනවා. මේ අධ්‍යනයන් වලින් ඔබේ තේරුම් ගැනීම මොකක්ද, මේ අයගෙ අධ්‍යාපන සුදුසුකම් මට්ටම සහ පාර්ලිමේන්තුවේ ප්‍රතිපත්ති සම්පාදනයට උගතුන් දෙන දායකත්වය ගැන..

සමාජ මාධ්‍ය සහ පුවත්පත් බැලුවොත් පහුගිය කාලේ පුරාම සහ මේ වෙනකම්ම ගොඩක් අය කියන කතාවක් තමයි පාර්ලිමේන්තුවේ මේ හිටපු මන්ත්‍රීවරුන්ට අධ්‍යාපන සුදුසුකම් නැහැ. විශේෂයෙන්ම අනූ ගානක් ඉන්නවා සාමාන්‍ය පෙළ අසමත් නැත්නම් උසස් පෙළ අසමත් ඔය වගේ කතා අපි දැක්කා.

හැබැයි මේවා කිසිම පදනමක් සහිත පරීක්ෂණයක් හරහා කරපු වාර්තාවකුත් නෙමෙයි . මේ වෙද්දි අපි වුණත් පර්යේෂණ කටයුතු කරන්න ගිහිල්ලා එය ඉතාම අපහසු බව තේරුම් අරගෙන ඉන්නවා. ඉතිං මම විස්වාස කරනවා මේක බොරු කතාවක්. වැරදි දත්තයක් තමයි මේ අපි සමාජ මාධ්‍ය සහ මාධ්‍ය තුළින් ප්‍රකාශ කරන්නේ.

වර්තමාන පාර්ලිමේන්තුවේදි පුළුවන් කමක් තියෙනව නම් ඔවුන්ට ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් මහජනතාවට ඉදිරිපත් කරන්න මම හිතන්නේ ඒක වටිනවා. එතනදිත් හැබැයි අපි ආයෙ පාරක් හිතන්න ඕනේ මේ අධ්‍යාපන සුදුසුකම් කොච්චර දුරට බලපානවා ද නැද්ද කියන එක.

මොකද හේතුව අපි නැවත වරක් මේ පාර්ලිමේන්තුව බැලුවොත් අපි දකිනවා ඒකෙ මහාචාර්යවරුන්, වෛද්‍යවරුන් අධ්‍යාපන මට්ටම ඉහළ සමාජයේ යම් කිසි තනතුරු දැරූ කට්ටිය පාර්ලිමේන්තුවට ඇවිත් හිටියා. එතකොට අපිට ඒගොල්ලන්ගෙ පාර්ලිමේන්තු ක්‍රියාකාරීත්වය බලන්න පුළුවන්. කොච්චර දුරට පාර්ලිමේන්තුව තුළ ක්‍රියාකාරී වෙලා තියෙනවද කියලා.

ඊට අමතරව වයස, වයසත් එක්ක බලන්න පුළුවන් ඔවුන්ගේ පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීත්වය, තරුණයන් කොහොමද පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරී වෙලා තියෙන්නේ, ඔවුන්ගේ පාර්ලිමේන්තු පැමිණීම ඒ දේවල් බලාගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන වැදගත් වෙන්නෙ වයසවත් අධ්‍යාපන සුදුසුකම්වත් නෙවෙයි.

මේ සියල්ලටම වඩා මම හිතන දේ තමයි ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය, ඔවුන්ගේ තනි කැපවීම, මොවුන්ගෙ තනි දේශපාලන මතය, ඔවුන් තනියෙන් කොච්චර දුරට මහජනතාව පාර්ලිමේන්තුව තුළ නියෝජනය කරනවා ද කියන එක තමයි වැදගත්. ඒකට වයස, අධ්‍යාපන සුදුසුකම් බලපාන්න පුළුවන්, හැබැයි ඒ දේවල් සීයට සීයක් බලපානවා කියලා මං විශ්වාස කරන්නේ නැහැ.

Related posts

One Thought to “පාර්ලිමේන්තුව, විහිළුවට හාස්‍යයට ලක්කරගත යුතු තැනක් නෙමෙයි  – සදීශා ධර්මප්‍රේම.”

Comments are closed.