RTI තොරතුරු ප්‍රමාද කරන නිලධාරීන්ට නීතිමය ක්‍රියාමාර්ග – කොමිසම කියයි!

right to information act sri lanka

ශ්‍රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තොරතුරු ලබා දීමේදී පොදු අධිකාරියේ ප්‍රමාදයන් සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ දැඩි අවධානය යොමු කර ඇති අතර එකී පනත යටතේ වන සිය නිල රාජකාරිය මග හරිමින් සහ හිතාමතාම ප්‍රමාද කිරීම් සම්බන්ධයෙන් වගකිව යුතු රජයේ නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව පවසයි.

මෙවන් අවස්ථා බහුල නොවන නමුත්, පනත මගින් කොමිසම වෙත ලබා දී ඇති ව්‍යවස්ථාපිත බලය ප්‍රකාරව තොරතුරු දැන ගැනීමේ පනත යටතේ වන නෛතික ක්‍රියාපටිපාටිය හිතාමතාම නොසලකා හරිනු ලබන හෝ පැහැර හරිනු ලබන පාර්ශවයන් සදහා අපරාධ නඩු මගින් කටයුතු කිරීමටද කොමිෂන් සභාව පසුබට නොවන බව ද කියා සිටී.

“ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ක්‍රියාත්මකභාවයට පත්වී 2021 පෙබරවාරි 3 වන දිනට වසර හතරක් සම්පූර්ණ වීම සනිටුහන් කරමින් එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඩි.ජි.එම්.වී. හපුආරච්චි මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා ඇත.

තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කිරීමෙන් පසු රාජ්‍ය ආයතනවල ධනාත්මක වූ ප්‍රතිපත්තිමය වෙනස්වීමක් සහ ක්‍රියාකාරී ලෙස තොරතුරු හෙළිදරව් කිරීමක් සිදුව ඇතැයිද එය අගය කළ යුතු බවද තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව පවසයි.

එම කොමිසම නිකුත් කළ නිවේදනය මෙසේය.

“ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ක්‍රියාත්මකභාවයට පත්වී 2021 පෙබරවාරි 3 වන දිනට වසර හතරක් සම්පූර්ණ වීම සනිටුහන් කරමින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින් පොදු අධිකාරීන්, ප්‍රජා ක්‍රියාකාරීන් සහ පුරවැසියන් සමඟ දිවයින පුරා උපදේශන කටයුතුවල නිරත වූ අතර පළාත්බද උපදේශන වැඩසටහන් 2021 ජනවාරි 21 වන දින නුවර එළිය ප්‍රදේශයේදී පවත්වන ලද අතර ඒ සදහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා වන එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් සහ මහජනතාව සහභාගී විය.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින් 2021 පෙබරවාරි 9 සහ 16 යන දිනවල පිළිවෙලින් කැළණිය සහ කොළඹ විශ්ව විද්‍යාල වල ජ්‍යෙෂ්ඨ අධ්‍යයන හා පරිපාලන කාර්ය මණ්ඩලයන් සමඟ පැවැත්වූ සාකච්ඡාවලදී පසුගිය වසර කිහිපය තුළ ඇති කරගත් සාර්ථකත්වයන් සහ අභියෝග සම්බන්ධයෙන් වැඩිදුර තක්සේරු කිරීමක් සිදු කරන ලදී. කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨය මෙම වැඩසටහන සම්බන්ධයෙන් ලබා දුන් සහයෝගිතාවය විශේෂයෙන්ම අවධාරණය කල යුතු වේ. තවද, තොරතුරු දැන ගැනීමේ පනත සක්‍රියව භාවිතා කළ ප්‍රජා පාදක සංවිධාන සහ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන් සමඟ 2021 පෙබරවාරි 18 සහ 19 යන දින තුළ මාතර ප්‍රදේශයේ දින දෙකක පළාත් උපදේශන වැඩසටහන් පැවැත්වීම ද පැවැත්වූ ක්‍රියාකාරකම් අතරට ඇතුළත් ය.

අපගේ පෙර සාකච්ඡා වැඩසටහන් අම්පාර දිස්ත්‍රික්කයේ පානම, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අම්බගමුව, හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කිලිනොච්චි, යාපනය දිස්ත්‍රික්කයේ යාපනය, පුත්තලම් දිස්ත්‍රික්කයේ කරුවලගස්වැව, බදුල්ල දිස්ත්‍රික්කයේ මහියන්ගණය සහ බණඩාරවෙල, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ, මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය සහ ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම යන ප්‍රදේශයන්හිදී පවත්වන ලදී. ඉදිරි මාස හය තුළදී මෙම උපදේශන වැඩසටහන් කටයුතු අඛණ්ඩව සිදුකිරීමට කොමිෂන් සභාව  අදහස් කරන අතර, ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් පැවති දැඩි බාධාවන් මධ්‍යයේ වුවද, මෙම වැඩසටහනට උද්යෝගයෙන් සහාය ලබා දුන් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්, අදාළ විශ්ව විද්‍යාලවල උපකුලපතිවරුන්, වෙනත් පොදු අධිකාරීන්හි ප්‍රධානීන්, ප්‍රජා පාදක සංවිධාන සහ උද්යෝගිමත් මහජන පුරවැසියන්, කොමිෂන් සභාව ඉහමත් අගය කිරීමට ලක් කරයි.

සාකච්ඡාවලදී අවධාරණයට ලක් වූයේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ තන්ත්‍රයේ සාර්ථකත්වයන් සහ අභියෝග තක්සේරු කිරීම, රට තුළ ගෝලීය වසංගතය අඛණ්ඩව පැවතීම හේතුවෙන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ ප්‍රායෝගික ක්‍රියාකාරිත්වයට ඇතිවන බාධක අවම කිරීම, කොමිෂන් සභාවේ අභියාචනා විභාග පළාත්බදව නිරතුරුව සිදුකිරීම සම්බන්ධයෙන් ගවේෂණය කිරීම සහ සෞඛ්‍ය අවදානම් අවම කිරීම සඳහා විද්‍යුත් මාධ්‍යයන් (virtual) හරහා අභියාචනා විභාග සැසි පැවැත්වීම යනාදී කරුණු වේ.

තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කොට වසර හතරක පමණ කලක් ගත වූ පසු පොදු අධිකාරින්ගේ ධනාත්මක වූ ප්‍රතිපත්තිමය වෙනස් කිරීම් සහ ක්‍රියාකාරී හෙළිදරව් කිරීම් අගය කළ යුතු වේ. සමෘද්ධි සහ වෙනත් මහජන සුබසාදන වැඩසටහන්හි මහජන අරමුදල්වල ප්‍රතිලාභීන්ගේ ලැයිස්තු විවෘතව ප්‍රකාශයට පත් කොට තිබීමද මේ යටතේ වන සාධනීය කටයුත්තක් වේ. සාමාන්‍ය ජනතාව කෙරෙහි බලපානු ලබන ප්‍රතිපත්තීන්, විධානයන් හා චක්‍රෙල්ඛයන් සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව වෙත ප්‍රවේශය ලබා දීමක් සිදු කර ඇති අතර නගර සභා සහ අනෙකුත් රාජ්‍ය ආයතන තම ව්‍යාපෘති සම්බන්ධයෙන් තොරතුරු විවෘතව හෙළිදරව් කිරීමක් කරන බව ද අවධාරණය කල යුතු වේ. කරුණු එසේ වුවද, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ අපේක්‍ෂා කර ඇති පරිදි තොරතුරු ක්‍රියාකාරී අනාවරණය විශේෂයෙන්ම මහජන අරමුදල් භාවිතය සම්බන්ධයෙන් වන කාර්යන් සම්බන්ධ කටයුතු වලදී තවදුරටත් ශක්තිමත් විය යුතුව පවතී.

මේ අතරම, එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය (යුනෙස්කෝ) විසින් මහා සම්මේලනයට ඉදිරිපත් කරන ලද ‘From Promise to Practice…’ නම් වූ, ලොව පුරා පවතින තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ 2020 ගෝලීය වාර්තාවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ද අධ්‍යයනයක් ඇතුලත් කිරීම සම්බන්ධයෙන් අපි සතුටු වෙමු. ප්‍රවේශය: https://ifap.ru/pr/2020/n201207b.pdf.

එම වාර්ථාව පරිදි, 2017-2019 කාලය තුළ වූ කොමිෂන් සභාවේ නියෝග සලකා බැලීමේදී ඉන් 85% ක් පමණ සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් තොරතුරු අනාවරණය කිරීමක් වන බව පෙනී යයි. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත දැඩි ලෙස අවධාරණය කරනු ලබන උපරිම අනාවරණය කිරීමේ මූලධර්මය ආරක්ෂා කිරීමට වන කොමිෂන් සභාවේ ස්ථාවරයට මෙය අනුකූල වේ.

පසුගිය වසර කිහිපය තුළ තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධයෙන් ලද සාර්ථකත්වයන් සුරක්ෂිත කරමින් ද මින් ඉදිරියට මෙය තවදුරටත් වර්ධනය කරමින් ද ශ්‍රී ලංකාව තොරතුරු දැන ගැනීමේ ගමන ඉදිරියටම යනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

Social Sharing

Related posts