පිල්ලෙයාන් විසින් දේශපාලනයට දරුවන් යොදා ගැනීම ගැන පරීක්ෂණයක් ඉල්ලයි!

ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන ඇප පිට නිදහස්ව ඉන්නා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු දේශපාලන ප්‍රචාරක කටයුතු සඳහා පාසල් සිසු සිසුවියන් යොදා ගැනීම ගැන පරීක්ෂණයක් පැවැත්විය යුතු බව දිවයිනේ මුල් පෙලේ ගුරු සංගමයක් ඉල්ලා සිටී.

කල්කුඩා අධ්‍යාපන කලාපයට අයත් පංචන්කර්නි විදුහලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසල් නිළ ඇඳුමෙන් යුතුව තූර්යවාදන භාණ්ඩ ද උපයෝගී කරගෙන සිවනේසතුරෙ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් විසින් තම පිළිගැනීම් උත්සවයකට එක් කොට ඇති බවයි ලංකා ගුරු සංගමය පවසන්නේ.

පාසල් තූර්යවාදයක කණ්ඩායම් දේශපාලකයන්ගේ රැස්වීම්වලට යොදවා ගැනීම නොකළ යුතු බව පැහැදිලිව දක්වා ඇති සේම කොරෝනා වසංගත ව්‍යාප්තිය තුළ පාසල් ළමුන් කිසිදු බාහිර ක්‍රියාවකට යොමු නොකළ යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය හා රජය අවස්ථා ගණනාවකදී පැහැදිලිව ප‍්‍රකාශ කර තිබෙන බවයි,  ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසන්නේ.

එසේ තිබියදී ද්‍රවිඩ ජාතික සංවිධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  ජෝසප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාඩ් බන්ධනාගාර ගතකොට සිට  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්වීමෙන් පසු ඇපමත මුදාහැර සිටින පිල්ලෙයාන් විසින් තම පිළිගැනීමේ උත්සවයක් සඳහා මේ ආකාරයෙන් අනීතිකව පාසල් සිසුන් සම්බන්ධ කර ගැනීම  බරපතල තත්වයක් බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ගුරු සංගම් නායකයා අවධාරණය කරයි.

ඝාතන චෝදනා ලද මෙම මන්ත්‍රීවරයා  වසංගත අවදානමක් සහිත තත්වයක මේ ආකාරයෙන් පාසල් සිසුන් යොදවා ගැනීම  දැඩිව හෙළා දකින ලංකා ගුරු සංගමය මේ සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් සිදු කරන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් ගෙන් ඉල්ලා සිටී.

“නැගෙනහිර පළාත් අධ්‍යාපන බලධාරීන් මෙවැනි තත්වයක් ඇතිවීම සම්බන්ධයෙන් වගකිය යුතු බව ද ලංකා ගුරු සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.”

නිවේදනය මගින් තව දුරටත් පෙන්වා දෙන්නේ දෙසැම්බර් 7 දින පිල්ලෙයන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවති දිස්ත්‍රික් සංවර්ධන රැස්වීමකදී නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සිවනේසතුරෙ චන්ද්‍රකාන්තන් නැගෙනහිර පළාතේ අධ්‍යාපනය සංවර්ධනයට විශාල දායකත්වයක් කර ඇති බව ප‍්‍රකාශ කළ බවයි.

නමුත් 2020 වසරේ පැවති ශිෂ්‍යත්ව විභාගයේ දී මඩකලපු දිස්ත්‍රික්කය  රටේ  දිස්ත්‍රික්ක  අතරින් 23 වෙනි ස්ථානයට පත්ව ඇති බව පෙන්වා දෙන ලංකා ගුරු සංගමය අවධාරණය කරන්නේ නැගෙනහිර පළාත් අධ්‍යාපන පද්ධතිය දැඩි ලෙස දේශපාලනීකරණය වීම තුළ එහි අධ්‍යාපනය බරපතල ලෙස කඩාවැටී ඇති බවයි.

“අවිධිමත් පත්වීම්, මාරු කිරීම් ඇතුළු විවිධ පලිගැනීම් ක්‍රියාවලින් පිරි අධ්‍යාපනයක් එහි ක්‍රියාත්මක  වෙමින් තිබේ. මෙවැනි පිළිගැනීම් උත්සවලට මේ ආකාරයෙන් පාසල් ළමුන් සහභාගි කිරීමෙන් පෙන්නුම් වන්නේ පවතින යථාර්ථයයි.”

Pillayan's use of children in politics

Social Sharing
නවතම