මහර වෙඩි තැබීමෙන් මිය ගිය ජා-ඇල රැඳවියාගේ ඛේදවාචකය!

මහර බන්ධනාගාරයේ පහුගිය 29 දා ඇති වු ගැටුමෙන් මිය ගිය රැඳවියන් 11 නා අතර ජා ඇල, කලුපාලම, දුම්රිය රක්ෂිතයේ ජීවත් වූ පුද්ගලයෙකුද විය.

ඔහු නමින් සම්පත් පුෂ්පකුමාරය. විසි නව හැවිරිදි සම්පත් තිදරු පියෙකි. බස් රථ වල ගීත ගායනා කිරීම වෘත්තිය කර ගත් සම්පත් මිට මාස පහකට පමණ ප්‍රථම මත්කුඩු සම්බන්ධ චෝදනාවක් සම්බන්ධයෙන් ජා-ඇල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන 54 වගන්තිය යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අයෙකි.

සම්පත් මහර බන්ධනාගාරයේ දිවි ගෙව්වද ඔහුගේ දරුවන් දැන් සිටියේ තම පියා රට ගොස් ඇති බවකි. බන්ධනාගාර වෙඩි තැබීමෙන් එම දරුවන් තිදෙනාට දැන් සිය පියා අහිමිව ගොස් ඇත. එය වටහා ගැනීමට දරුවන්ට නොහැකිය. ඔවුන් බලා සිටින්නේ ප්ලේන් එකකින් තාත්තා ගෙදර එනතුරුය.

ජා-ඇල දුම්රිය රක්ෂිතයේ ජීවත් පුද්ගලයින් අට දෙනෙකු තාවකාලිව නිවෙස් සාදාගෙන පදිංචි වී සිටියි. මේ පුද්ගලයින්ට ජාතික හැඳුනුම්පතක් නොමැත. ඒ ස්ථිර පදිංචි ලිපිනයක්, ඔවුන්ගේ පදිංචිය සහතික කරන්නට කිසිදු ග්‍රාම නිලධාරිවරයෙක් ඉදිරිපත් නොවීම නිසාය.

ඔවුන් ශ්‍රී ලංකාවේ උපන්නද ශ්‍රී ලංකා පුරවැසියෙකු ලෙස සනාථ කරන්නට ජාතික හැඳුනුම්පතක් නැත. යම් අවශ්‍යතාවකයදී ඔවුන් භාවිතා කරනු ලබන්නේ සහතික කරන ලද ඡායාරූපයකි.

සම්පත්ගේ බිරිඳ වන ලසන්ති පවසන්නේ තම සැමියාට ජාතික හැදුනුම්පතක් තිබුණේ නම් අද මෙවන් විපතක් සිදු නොවන බවය. මන්ද සම්පත්ට ජාතික හැඳුනුම්පතක් නොමැති නිසා ඔහුව සෑම තැනකින්ම ප්‍රතික්ෂේප වී ඇත. කිසිදු පුද්ගලයෙකු රැකියාවක් ලබා දීමටද කැමති වී නැත. මේ නිසා ඔහුව දිනෙන් දින සමාජයෙන් කොන් වී යන විට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ බවත් ඇය පවසයි.

සම්පත්ගේ බිරිඳ ලසන්ති රජයේ වගකිව යුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ දරුවන් සමඟ තනි වී සිටින තමන්ට ස්ථිර නිවසක් තනා ගැනීමට යම් භූමියක් ලබා දෙන ලෙසයි.

 

Social Sharing
නවතම