සෞඛ්‍ය අංශ තිගැස්මට ලක් වෙලා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

කොවිඩ් 19 වසංගතයට ගොදුරුව මිය ගිය ප්‍රථම වෛද්‍යවරයා ලෙස රාගම ශික්ෂණ රෝහලේ ළමා රෝග වෛද්‍ය ගයාන්  දන්තනාරායන මහතාගේ නම  ඊයේ  (02)  ලංකාවේ කොවිඩ් වලින් මියගිය අයගේ ලේඛනයට එක් වීය.

ඉතා කණගාටුදායක සිද්ධියක් වූ මේ මරණයත් සමඟ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට අවධාරණය කර සිටින්නේ අවධානම කනට ඇසෙනාවට වඩා පෙනෙන්නට තිබිය යුතු හෙයින් වත්මන් තත්ත්වය නිවැරදි ලෙස ජනතාවට සන්නිවේදනය කළ යුතු බවය.

වෛද්‍ය ගයාන් දන්තනාරායනගේ මරණය වැනි මරණ මෙන්ම සෙසු මරණද ඉදිරියේදී වළක්වා ගැනීම සඳහා බලධාරීන්  අවශ්‍ය මැදිහත්වීම කාර්යක්ෂමව කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් සිට සියලු පාර්ශව වලින් ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා බාහිරින් ලැබිය යුතු සියලුම සහයන් ලැබී තිබියදී වෛද්‍ය ගයාන් කොවිඩ් 19 හමුවේ පරාජය වී ඇති තත්ත්වයක මෙම රෝගයේ ව්‍යාප්තිය පාලනය කරගැනීමට ඉතා කාර්යක්ෂම වී යුතු බව සඳහන් කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

ඊයේ (02) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අළුත්ගේ මහතා පැවසුවේ විශේෂයෙන් ජනතාවට අවදානම නිසි ලෙස සන්නිවේදනය විය යුතු බවයි.

රට පුරා සෞඛ්‍ය වෘත්තිකයින් දහස් ගණනක් මිය ගොස් ඇති තත්ත්වයක වුවද අපගේ රට තුළ මරණ අනුපාතය ඉතා පහළ මට්ටමක පවත්වාගෙන යමින් සිටියදී ගයාන්ගේ මරණයෙන් සෞඛ්‍ය වෘත්තියකයන් අතර යම් තිගැස්මක් ඇති වී තිබෙන බවද හෙතෙම පවසයි.

Social Sharing
නවතම