කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව කෝ?

කොවිඩ් 19 වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණය වෙනුවෙන් ලබා දුන් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව මෙම මස 12 වෙනි දින සිට ලබා දෙන පව සෞඛ්‍ය අංශ පවසා තිබුණේ සීංහල හින්දු අලුත් අවුරුදු උදාවටත් පෙර සිටය.

දැන් අවුරුදු ලබා දින කිහිපයක්ද ගෙවී ගොසිනි. එහෙත් දෙවන මාත්‍රාව ලබා දෙන කිසිදු සුදානමක්/ ලකුණක් තවමත් දකින්නට නැත.

කොවිඩ් 19 වෛරසයට එරෙහිව මෙරටට රැගෙන ආ මේ එන්නත් පළමු මාත්‍රාව රජය ජනතාවට ලබා දුන්නේ PCR පරීක්ෂණ කිරිමද පසෙක දමමිනි. එන්නත ලබා දෙන සංඛ්‍යාව වැඩිවන විට PCR පරීක්ෂණ කරණ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු විය.

කෙසේ නමුදු විශාල ප්‍රමාණයකට මෙරට කොවිඩ් එන්නත ලබා දීමට කටයුතු කළ අතර මෙහිදි මතු වු ඇතැම් අතුරු ආබාධ පිලිබඳවද  ලොකුවට අවධානයක් යොමු කෙරුනේ නැත.

මේ අතර ජනතාවට දෙනවා කියු දෙවැනි මාත්‍රාව තවමත් ලබා දීම කෙරෙහි රජය නිශ්චිත තීරණයකට එළැඹි නැතැයි සෞඛ්‍ය අංශ විසින්ම චෝදනා කර සිටියි.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ  මෙම එන්නත සම්බන්ධයෙන් පවතින් ඇතැම් ගැටළු හේතුවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල මෙන්ම මහජනතාවද යම් ගැටලුකාරී තත්ත්වයක පසුවන හෙයින් එම දෙවන මාත්‍රාව ලබා දෙනවාද නැද්ද යන්න පිලිබඳව සෞඛ්‍ය බලධාරීන් හා රජයේ බලධාරීන් පැහැදිලි කළ යුතුව ඇති බවය.

බොහෝ අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරන ආකාරයට මේ එන්නත සම්බන්ධයෙන් ඇතැම් ගැටළු පවතින අතර එන්නත ලබා ගත්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වගේම මහජනතාවත් මේ නිසා යම් යම් ගැටලුකාරී තත්ත්වයන් හමුවේ සිටින බැවින් රජයේ සහ සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීම වන්නේ මේ මොහොතේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවෙනි මාත්‍රාව ලබා දෙනවද? එය ලබාදෙනවා නම් ඒ කවදද? එහෙම නැත්නම් එය ලබාදෙන්නේ නැත්නම් ලබා නොදීමට හේතුව කුමක්ද සහ මෙහි පවතින ව්‍යාකූල තත්ත්වය නිරාකරණය වෙන විදිහට මහජනතාවට  කරුණු පැහැදිලි කිරීම යැයි  උපුල් රෝහණ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

මේ අතර වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසා සිටින්නේ කොවිෂීල්ඩ්  එන්නත හේතුවෙන් ඇතිවන අතුරු ආබාධ පිළිබඳව ලොව පුරා තීන්දු  ගනිමින් සිටියදී, එක් මාත්‍රාවක් පමණක් අයාලේ විද, දෙවන මාත්‍රාව සොයාගත නොහැකිව සිටින ශ්‍රී ලංකාව, එන්නතෙහි සංකූලතා පිළිබඳව කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නොමැති තත්ත්වයකට පත්ව සිටින බවය.

එම සංගමයේ සභාපති රවී කුමුදෙශ් මහතා පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව තුළ ද රුධිර කැටි ගැසීම පිළිබදව  සැකසහිත මරණ සිදුවී ඇති නමුත්, ඒවා එන්නත හේතුවෙන් සිදු වූයේද යන්න හෝ එසේ නොවන්නේ ද යන්න පිළිබඳව තහවුරු කිරීමට හැකියාවක් නැති බවත් පසු එන්නත් කරණය පිළිබඳව කිසිදු පර්‍යේෂණයක් හෝ  අවම තරමින් ජාතික මට්ටමේ සායනික තොරතොරු පිළිබඳව විමසිලිමත්වන කමිටුවක් පවා මෙතෙක් පත් කර නොමැති බවත්ය.

එන්නත්වේදය පිළිබඳව විශේෂඥ හැකියාව ඇති වෘත්තිකයන් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ නැති බවත් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ එන්නත්වේදී තනතුරට ක්ෂුද්‍රජීවීවේදියෙකු පත්කර එන්නත් වේදය පිළිබඳ අඳුරේ අතපත ගෑම වෙනුවට විශේෂඥ හැකියාව ඇති වෘත්තිකයකු සෞඛ්‍ය අමාත්‍යාංශයට පිටතින් හෝ විදේශයකින් හෝ බඳවා ගනිමින්, එන්නත්කරණයේ පසු තත්ත්වයන් පිළිබඳව ජාතික මට්ටමේ පර්යේෂණ වහා ඇරඹිය යුතුව ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

-ශානි-

Social Sharing
නවතම