කොවිඩ් සංඛ්‍යාලේඛන බොරුද?

දෛනිකව කොවිඩ් 19 සම්බන්ධව වාර්තාවක් නිකුත් වන්නේය. ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමෙන් පසුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද වාර්තාවය.

මේ වාර්තාවට අනුව රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටි සංඛ්‍යාව, සුවය ලබා රෝහල් වලින් පිටව ගිය මුලු රෝගීන් ගණන, දැනට තහවුරු කරන ලද මුළු රෝගීන් ගණන, එම දිනයේ තහවුරු කරන ලද මරණ ගණන සහ තහවුරු කරන ලද මුළු මරණ ගණන ලෙස කොටස් කිහිපයකින් සමන්විතය.

කොවිඩ් රැල්ල ආරම්භයේදී මෙන් නොව දැන් දැන් මේ වාර්තාවට අනුව රෝහල් ගතව සිටින රෝගීන් සංඛ්‍යව අඩු වෙමින් ඇත. ඊට සාපෙක්ෂව රෝහල් වලින් පිටව යන සංඛ්‍යාව ඉහළ නගිමින් තිබේ. නමුත් මේ සංඛ්‍යා ලේඛන 100% ක් සත්‍ය ඒවා බව ජනතාව පිලිගන්නේ නැත. මන්ද ඇතැම් විට තම ප්‍රදේශ වල කොවිඩ් වලින් මිය යන පුද්ගලයින් මේ සංඛ්‍යා ලේඛණ වලට ඇතුලත් නොවීම නිසාය. එමෙන්ම මේ වන විටත් කොවිඩ් ආසාදිතව රෝහල් ගත නොවු බොහෝ පිරිසක් තවමත් මඟ බලා සිටින්නේ තමන්ව රෝහලට ගෙන යාමට ඒනතුරුය. මීට ආසන්නතම සිදුවීමක් මීගොඩ ප්‍රදේශයෙන් වාර්තා වු අතර සති දෙකක් තිස්සේ ඔහු කොවිඩ් ආසාදිතව නිවසේ රැඳි සිටින්නේය.

කොවිඩ් ආසාදිතව නිවෙස් වල රැඳී සිටින පුද්ගලයින් මොවුන් ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන වල නැත.

මේ අතර කොවිඩ් ආසාදිත එහෙත් රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයින් යොමු කරන්නේ නිරෝධායන මධ්‍යස්ථාන වලට වූවත් මේ සංඛ්‍යාලේඛණ වල ඒවා සටහන්ව නැත. එසේනම් මේ ඉහත කී සියලු රෝගීන් සටහන් වන්නේ කොහාටද යන්න ගැටලුව මතු වේ.

මේ සම්බන්ධයෙන් පහුගිය දිනෙක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතාද පවසා තිබුණේ දෛනිකව වාර්තා වන කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාවේ සංඛ්‍යා ලේඛන පිළිබඳ යම් යම් පරස්පරතා ඇති ව තිබෙන බවය. මේ තොරතුරු විශ්වසනීයත්වයෙන් තොර බවට යම් යම් සාධක අනාවරණය වෙමින් පවතින බවත්  මේ නිසා මහජනතාවත් මේ සංඛ්‍යා ලේඛන සම්බන්ධයෙන් විශ්වසනීයත්වක් නොමැති ආකාරයට හැසිරෙන අතර ඇති වෙන මරණ සම්බන්ධවත් යම් යම් ගැටලුකාරී තත්ත්වයන් වාර්තා වෙන බවත් ඔහු කියා තිබුණි.

එමෙන්ම නව ආසාදිතයින් රෝහල් කරා ගෙන යාමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි සේම රට තුළ පවතින ඉතා ව්‍යාකූල බවත්, එමෙන්ම ඉදිරියට ඇති විය හැකි තත්ත්වය ද ඉතා ම අවදානම් බවත්  ඒ මහතා අනතුරු අඟවා සිටියි.

Social Sharing
නවතම