අල්ලස් කොමිසම පවරන නඩු ඉල්ලා අස් කර ගන්නේ ඇයි?

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා, වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එම්. ඩී. නවාස් මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව  ඉල්ලා අස්කර ගැනීමට පියවර ගන්නා බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  බුද්ධික ශ්‍රී රාගල මහතා වෙත දැනුම් දී තිබුණි.

ඊට හේතු ලෙස ලෙස සඳහන් කර තිබුණේ  එම නඩුව ගොනු කිරීමේදී සිදුව ඇති තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙසේ එය ඉල්ලා අස්කර ගන්නා බවය.

ඒ අනුව කරුණු තහවුරු කිරීම සඳහා නඩුව ලබන 30 වනදා කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර තිබුණි.

මොහාන් පීරිස්

මොහාන් පීරිස් යනු මෙරට 43 වන අග විනිසුරුවරයාය. ඔහු අගවිනිසුරු ලෙස පත් කෙරුණේ 2013 ජනවාරි 15 දිනය. ඒ හිටපු අගවිනිසුරුවරිය වු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉවත් කිරිමෙන් පසුවය . ඒ පත් වීම සිදු කරනු ලැබුයේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත් වීමෙන් අනතුරුවය. ඔහු අගවිනිසුරුධුරයේ 2015 ජනවාරි 28 වෙනිදා තෙක් කටයුතු කළේය. 2015 දී ඔහුව ධුරයෙන් ඉවත් කෙරුණි.

එමෙන්ම මොහාන් පීරිස් මහතා මෙරට 41 වෙනි නීතිපතිවරයාද වේ. ඒ 2008 හා 2011 අතර කාලය තුලය. කොළඹ, ශාන්ත ජෝෂප් විද්‍යාලයේ හා කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා ඇති මොහාන් පීරිස් මහතා ශ්‍රී ලංකා නීති විද්‍යාලයේද අධයාපනය ලැබුවෙකි. ඔහුගේ වෘත්තියෙන් නීතිඥවරයෙකි.

මේ වන විට මොහාන් පිරීස් මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා වශයෙන් පත්කර තිබේ.  ඒ 2020 නොවැම්බර් මස සිට ක්‍රියාත්මක වන පරිදිය.

චෝදනා

නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු කළ අවධියේ හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා සහ එම්. ඩී. නවාස් මහතා 2010 වසරේදී ලංකා විදුලි සමාගමට ඉඩමක් මිලදී ගැනීමේදී සිදුවූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් එම සමාගමේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට උපදෙස් ලබා නොදීම තුළින් රජයට පාඩුවක් සිදුකිරීම පිළිබඳව අල්ලස් කොමිසම විසින් 2018 -01 මසදී නඩුවක්  පවරන ලදි.

නඩු මඟට 

එනම් සිමාසහිත ලංකා විදුලි පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු තවත් සේවකයන් කිහිපදෙනකු කළ වැරැදි සමුහයක් සම්බන්ධයෙන් මතයක් ප්‍රකාශ කරමින් නීති මඟින් කටයුතු කිරීමට ඉඩ නොදීමෙන් අල්ලස් පනතේ දුෂණය නම් වරද සිදු කර ඇති බව සඳහන් කරමින් හිටපු අගවිනිසුරු හා නීතිපතිවරයකු වූ පිටර් මොහාන් මෛත්‍රි පීරිස්, හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වත්මන් අභියාචනාධිකරණ විනිසුරු අබ්දුල් හමිඩ් මො‍හොමඩ් දිලිප් නවාස් හා එවකට විදුලිබල මණ්ඩලයේ ලේකම් චාල්ස් ෆර්ඩිනැන්ඩු නැමැති අයට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා හමුවේ  2018 ජනවාරි දා  (18) නඩු පවරන ලදි.

වර්ෂ 2010/12/1 සිට 2010/12/30 යන දින වකවානුවල දී සිමාසහිත ලංකා විදුලි පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු තවත් සේවකයන් කිහිපදෙනෙක් කළ වැරැදි සමුහයක් පිළිබඳව සිරිපාල ජයලත් පතිරණ සභාපතිත්වයෙන් යුතු කමිටුව සකසන ලද 2009 ඹක්තෝබර් වාර්තාව හා මුතුකුඩආරච්චිගේ රත්නපාල ඩයස් ජයතිලක සකසන ලද 2010 ජුලි වාර්තාව අනුව අල්ලස් පනතේ දුෂණය වරද හා දණ්ඩ නීති සංග්‍රහයේ සපරාධි සාවද්‍ය පරිහරණය යන වැරැදි පිළිබඳව කරුණු අනාවරණය වි තිබිය දී එකි වැරැදිවලට වගකිවයුත්තන්ට නිතිවිරෝධි අනුග්‍රහයක් හෝ වාසියක් සිදු කිරීමේ චේතනාවෙන් එසේ විය හැකි බව දැන දැනම එම කරුණ අපරාධ පරීක්ෂණ පැවැත්වීමට තරම් සුදුසු නොවන බවට තීරණය කර එකී තීරණය මතයක් ලෙස දක්වා මෙම චෝදනා පත්‍රයට 2010/12/16 දරණ ලිපිය පළමු චුදිත විසින් තුන්වන චුදිතට නිකුත් කිරීම අල්ලස් පනතේ 70 වගන්ති ප්‍රකාර දුෂණ වරද සිදුකිරීම හෝ එකි වරද සිදු කිරීමට අනුබල දීමට එකඟවීමෙන් එකි වරදට පොදු අරමුණක් සහිතව ක්‍රියා කිරීමෙන් වරද සිදු කිරීමට අනුබල දීමට කුමන්ත්‍රණය කළ බවට දණ්ඩ නීති සංග්‍රහයේ 113(ආ) හා 102 සමඟ අල්ලස් පනතේ 70 දුෂණය වරද සිදු කර බව සඳහන් කරමින් අල්ලස් කොමිසම චුදිතයන් තිදෙ‍නාට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි.

වර්ෂ 2010/12/16 වන දින ලිපිය තුන්වන චුදිත වෙත නිකුත් කිරීම, දණ්ඩ නිති සංග්‍රහයේ 102 වගන්ති ප්‍රකාර වරදක් සිදු කිරීම හා අල්ලස් පනතේ දුෂණය වරද සිදු කිරීම යන චෝදනා හතරක් සම්බන්ධයෙන් චුදිතයන් වෙත ‍කොමිසම චෝදනා ගොනු කර තිබිණ.

නීතිපති දෙපාර්තමේන්තුවේ සහකාර රාජ්‍ය ලේකම් ඇතුළු සාක්කි 20දෙනෙකු හා නඩු භාණ්ඩ 19 ක් මෙහිදි නම් කර තිබුණි.

මෙසේ පවරා තිබු නඩුව ඊයේ දින අල්ලස් කොමිසම විසින් ඉල්ලා අස් කර ගෙන ඇත.

අල්ලස් කොමිසමේ දෝෂ

අල්ලස් කොමිසමක් අධිකරණයේ පැවරු නඩුවක් යළි ඉල්ලා අස් කර ගැනීම සුලුවෙන් ගත නොහැක. ඔවුන්ට නඩුව ගොනු කිරිමේදි සිදු වු තාක්ෂණික දෝෂයක් සිදු වුවා යැයි පිළිගත නොහැකි කරුණකි. මන්ද එසේනම් අල්ලස් කොමිසම විසින් මීට පෙර අත්අඩංගුවට ගත් හා නඩු පැවරු අයගේ ලේඛන/නඩුද තාක්ෂණික දෝෂ වලට හසු වුවාදැයි ජනතාව අතර සැකයක් මතු වීම වැලැක්විය නොහැකිය.

මෙයින් සිදු වන්නේ අල්ලස් කොමිසම කෙරෙහි ජනතාව තබා තිබු විශ්වාසය පලුදු වීමක්ය. අල්ලස් කොමිසමට පැමිණිලි කිරිමට ඉදිරිපත් වීම අඩු වීමක්ය.

අල්ලස් කොමිස කියනා පරිදි ඔවුන්ට මේ වන විට විමර්ශන නිලධාරින් හිඟ වී ඇත. නීති නිලධාරින්ගේ වැටුප් හා දීමනා ප්‍රමාණවත් නැත. යටිතල පහසුකම් ප්‍රමාණවත් නැත. එමෙන්ම ප්‍රමාණවත් සාක්ෂි නොමැතිකමය.

විශේෂයෙන්ම එහිදි ඔවුන් මතු කරන කරුණ වන්නේ බොහෝ දුෂණ නඩු රඳා පවතින්නේ ලේඛන මත බවය. බොහෝ ලේඛන කාලයාගේ ඇවෑමෙන් සොයාගත නොහැකි වීමත්, එම ලේඛන රාජ්‍ය ආයතන වලින් ගෙන්වා ගැනීම දුෂ්කර වී ඇති බවය.  ඊට හේතුව බොහෝ රාජ්‍ය ආයතන මේ ලේඛන ගෙන්වා ගැනීමට නොදක්වන සහයෝගය බවද අල්ලස් කොමිසම කියා සිටියි.

එසේම ඇතැම් විට ලේඛන සොයා ගත්තද ඒවායේ අඩංගු රෙගුලාසි හා චක්‍රලේඛන දුර්වල වීම මත අධිකරණයේදී පැමිණිල්ලට දැඩි අභියෝගයන්ට මුහුණ දීමට සිදු වන බවද ඔවුන් පෙන්වා දෙයි.

නමුත් හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතාට එරෙහි නඩුව අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා අස් කර ගැනීම පිටුපස මේ කරුණු තිබේද නැතිනම් එයට දේශපාලනය බලපා තිබේදැයි අප දන්නේ නැත. එහෙත් අල්ලස් කොමිසම වැනි සුපිළිපන්න ආයතනයක් විසින් මෙසේ තාක්ෂණික දෝෂ ඇතුව නඩු පැවරීම ගැන දෙවරක් සිතිය යුතුව ඇත.

-ශානි-

Social Sharing
නවතම