
බීබීසී (BBC) සිංහල සේවයේ කර්තෘ ඉෂාරා ධනසේකර සහ මාධ්‍යවේදී ජනසම්පත් දිසානායක පාර්ලිමේන්තු ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව හමුවට කැඳවීමට ගෙන ඇති තීරණය ජනමාධ්‍ය මර්දනයක් වන අතර, භාෂණයේ හා ප්රකාශනයේ නිදහසට එල්ල කළ බරපතල තර්ජනයක් බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.
සංගමය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය ලක්මාලි හේමචන්ද්‍ර විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව කථානායකවරයාගේ නියෝගයෙන් අදාළ මාධ්‍යවේදීන් දෙදෙනා එළඹෙන ජූලි 23 වන බ්‍රහස්පතින්දා පස්වරු 2.00ට පාර්ලිමේන්තු වරප්‍රසාද කාරක සභාව හමුවට කැඳවා ඇති බවයි.
මෙම සිදුවීමට පසුබිම් වී ඇත්තේ අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව එල්ල වී ඇති බාලවයස්කාර දැරියක අපයෝජනය කළ බවට වන චෝදනාව සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ප්‍රමාදය පිළිබඳ ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විවෘත අධිකරණයේදී කර තිබූ ප්‍රකාශය හා ඊට අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ප්‍රතිචාරය පිළිබඳ බීබීසී සිංහල සේවය සිදු කළ වාර්තාකරණය බව සංගමය සඳහන් කරයි.
සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය කිසිදු නීතිමය හෝ විධිමත් බලයක් නොමැති පාර්ලිමේන්තු අභ්‍යන්තර සංසදයක් වන අතර, එම සංසදයේ ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු වාර්තා කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් වරප්‍රසාද කමිටුවට කැඳවීම ජනමාධ්‍යයේ ස්වාධීනත්වයට හා මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට බරපතළ බලපෑමක් එල්ල කරන ක්‍රියාවක් බවයි.
එමෙන්ම දේශපාලන බලපෑම් මත ජනමාධ්‍යවේදීන්ට එරෙහිව වරප්‍රසාද කමිටු ක්‍රියාමාර්ග භාවිත කිරීම වහාම නතර කරන ලෙස ආණ්ඩුවෙන් සහ පාර්ලිමේන්තු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද සංගමය ප්‍රකාශ කරයි.
තවද, මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම සඳහා සියලුම ජනමාධ්‍ය ආයතන, සිවිල් සමාජ සංවිධාන සහ පුරවැසියන් එක්ව මෙම ප්‍රවේශයට එරෙහිව හඬ නගන ලෙස ද ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සිය නිවේදනයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
