දරුණු රෝගීන්ට ස්වේච්ඡා මරණයට අවසර දෙන පනත ප්‍රංශයේ සම්මත වෙයි!

ප්‍රංශයේ සුව කළ නොහැකි දරුණු රෝගාබාධවලින් පෙළෙන වැඩිහිටි රෝගීන්ට ස්වේච්ඡාවෙන් ජීවිතය අවසන් කරගැනීමට (Assisted Dying) ඉඩ සලසන නව පනත් කෙටුම්පතක් එරට ජාතික මන්ත්‍රී මණ්ඩලයේ පහළ මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කර තිබේ.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 291ක් සහ විපක්ෂව ඡන්ද 241ක් ලැබී ඇති අතර, මීට පෙර අවස්ථා තුනකදීද එයට මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබුණි.

මෙම පනත යටතේ මරණාසන්න තත්ත්වයේ සිටින රෝගියෙකුට තම ජීවිතය අවසන් කිරීම සඳහා මාරාන්තික ඖෂධයක් ඉල්ලා සිටීමට අවසර හිමි වන අතර, එය රෝගියා විසින්ම ශරීරගත කරගැනීමට හෝ අවශ්‍ය අවස්ථාවක වෛද්‍යවරයකුගේ සහාය ඇතිව ලබාගැනීමටද හැකියාව ලැබේ.

මෙම නීතියේ ප්‍රතිලාභ හිමිවන්නේ ප්‍රංශ පුරවැසියන්ට හෝ එරට නීත්‍යානුකූල පදිංචිකරුවන්ට පමණක් වන අතර, ජීවිතයට තර්ජනයක් වන සුව කළ නොහැකි හෝ අවසාන අදියරේ පවතින, නිරන්තර දැඩි ශාරීරික වේදනා ඇති කරන රෝගාබාධයකින් පෙළීම අනිවාර්ය සුදුසුකමක් ලෙස සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, මානසික පීඩනය පමණක් මෙම නීතිය යටතේ සුදුසුකමක් ලෙස නොසලකන අතර, දැඩි මානසික රෝග හෝ ඇල්සයිමර් වැනි ස්නායු පරිහානියට හේතු වන රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට මෙම නීතිය අදාළ නොවේ.

එමෙන්ම රෝගියා මෙම තීරණය ස්වකීය කැමැත්තෙන් සහ සම්පූර්ණ සිහිකල්පනාවෙන් ගෙන තිබිය යුතු අතර, වෛද්‍යවරයකුගේ පරීක්ෂාවෙන් අනතුරුව විශේෂඥ මණ්ඩලයක සමාලෝචනයකටද යටත් විය යුතුය.

කෙසේ වෙතත්, මෙම පනත් කෙටුම්පත නීතියක් බවට පත්වීමට පෙර ප්‍රංශයේ ඉහළම ව්‍යවස්ථාපිත අධිකාරියේ අවසන් අනුමැතිය ලබාගැනීමට නියමිතය.

Social Sharing
පුවත් විදෙස්