
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
අද (29) නිකුත් කළ වාර්තාවට අනුව, ජූනි මාසයේ ගෙවීගිය දින 28 තුළ පමණක් ඩෙංගු රෝගීන් 19,318 දෙනෙකු වාර්තා වී ඇති අතර, මේ වසරේ ජනවාරි 1 සිට මේ දක්වා සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 53,159 දක්වා ඉහළ ගොස් තිබේ.
ඩෙංගු ආසාදනය හේතුවෙන් මේ වසරේ මේ දක්වා පුද්ගලයින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තාවේ සඳහන් වේ.
වසරේ 25 වන සතිය වනවිට දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කොට්ඨාස 124ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර ඇති අතර, වැඩිම රෝගීන් සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබේ. එහි රෝගීන් සංඛ්‍යාව 27,833ක් වන අතර, එය සමස්ත රෝගීන්ගෙන් 52.36%ක් වේ.
සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කර පරිසරය පිරිසිදුව තබා ගැනීමටත්, මදුරු කීටයින් සහ පිලවුන් විනාශ කිරීම සඳහා සක්‍රීයව දායක වන ලෙසත්ය.
ඒ අනුව, බෝපෙ–පෝද්දල ප්‍රාදේශීය සභාව මඟින් ඩෙංගු මර්දන ශ්‍රමදානයක් සංවිධානය කර තිබූ අතර, ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ නිලධාරීන් 100කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් තවත් පරිසර පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් ඊයේ පැවැත්වුණි. එය ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමලගුණරත්න මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කර තිබුණි.
