
එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැති නිලවරණයේදී වැඩිම ඡන්ද සංඛ්‍යාව හිමිකර ගනිමින්, කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කම් තුරන් කිරීම පිළිබඳ කමිටුව (CEDAW) සඳහා යළිත් තේරී පත්වීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.
මෙම නිලවරණයේදී ප්‍රකාශිත වලංගු ඡන්ද 185න් ඡන්ද 144ක් ලබාගත් මහාචාර්ය රංගිතා ද සිල්වා මහත්මිය සියලුම ජයග්‍රාහී අපේක්ෂකයන් අතර වැඩිම ඡන්ද සංඛ්‍යාව හිමිකර ගනිමින් පෙරමුණ ගැනීමට සමත් වූවාය. ඒ අනුව, CEDAW කමිටුව සඳහා නැවත තේරී පත් වූ එකම ශ්‍රී ලාංකිකයා ලෙසද ඇය වාර්තාවක් තැබුවාය.
විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මෙම ජයග්‍රහණය කාන්තා අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම පිළිබඳ අන්තර්ජාතික ප්‍රජාව තුළ පවතින විශ්වාසය මනාව පිළිබිඹු කරන බවයි.
මෙම නිලවරණයේදී තේරී පත් වූ රටවල් අතර ශ්‍රී ලංකාව ඡන්ද 144ක් ලබාගෙන පෙරමුණ ගත් අතර, ඊජිප්තුව ඡන්ද 141ක්, උගන්ඩාව 140ක්, මොන්ගෝලියාව 136ක්, කැනඩාව 135ක්, එස්තෝනියාව සහ අසර්බයිජානය දෙකම ඡන්ද 133ක් බැගින්, කියුබාව 128ක්, ස්පාඤ්ඤය 125ක්, නයිජීරියාව 123ක්, මෙක්සිකෝව 119ක් සහ ඇන්ටිගුවා සහ බාබුඩා 118ක් ලෙස ඡන්ද ලබාගෙන ඇත.
