
ගෝලීය වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළ යන සෑම අවස්ථාවකම එහි සහනය මෙරට පාරිභෝගිකයන්ට ලබාදීමට රජය කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඉකුත් 25 වන දා පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27(2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
කෙසේ වෙතත්, ඉන්ධන මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට කිසිදු අවසන් තීරණයක් ගෙන නොමැති බවද ඔහු සඳහන් කළේය. ලෝක වෙළෙඳපොළේ මිල ගණන් සැලකිල්ලට ගනිමින් පමණක් ඉදිරි තීරණ ගන්නා බවද අමාත්‍යවරයා පැවසීය.
දැනට ක්‍රියාත්මක ඉන්ධන සහනාධාර ක්‍රමය යටතේ ඩීසල් ලීටරයකට රුපියල් 100ක සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක සහනාධාරයක් ලබාදෙන බවද ඔහු කියා සිටියේය. එම සහනාධාරය සියලු ඉන්ධන වර්ග සඳහා සමාන ලෙස ලබා නොදෙන අතර, සැබෑ ආනයන වියදම, සැපයුම් මිල සහ විකුණුම් මිල පදනම් කරගෙන එය තීරණය කරන බවද හෙතෙම පැහැදිලි කළේය.
ඉන්ධන සහනාධාරය නතර කිරීමේ කිසිදු සූදානමක් නොමැති බවත්, ඒ සඳහා කැබිනට් මණ්ඩලය රුපියල් බිලියන 57ක ප්‍රතිපාදන වෙන් කර ඇති නමුත් එම මුදල සම්පූර්ණයෙන්ම මෙතෙක් භාවිත කර නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
තවද, මාර්තු මාසයේ සිට ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාමත් සමඟ මෙරට ඉන්ධන මිලද ඉහළ ගිය බව පෙන්වා දුන් ඔහු, ජාත්‍යන්තර වෙළෙඳපොළේ මිල පහළ යන අවස්ථාවලදී එහි වාසිය අනිවාර්යයෙන්ම පාරිභෝගිකයන්ට ලබාදෙන බව අවධාරණය කළේය.
