මාධ්‍යවේදීන්ගේ අර්බුදවලට මහේක්ෂ විසඳුම් වෙනුවට ක්ෂුද්‍ර මට්ටමේ සාමූහික ප්‍රයත්නයන් අවශ්‍යයි – ආචාර්ය විරංජන හේරත්


වත්මන් මාධ්‍ය ක්ෂේත්‍රය සහ මාධ්‍යවේදීන් මුහුණ දෙන අභියෝග ජයගැනීම සඳහා හුදු මහේක්ෂ (Macro) විසඳුම් මත යැපෙනවාට වඩා, මාධ්‍යවේදීන්ගේ විවිධ සාමූහිකයන් මගින් ක්ෂුද්‍ර (Micro) විසඳුම් අත්හදා බැලිය යුතු බව මාධ්‍ය නීති සංසදයේ ආචාර්ය විරංජන හේරත් මහතා පෙන්වා දුන්නේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ 2026 මැයි 14 වන දින කොළඹ සන්ධාර සමාජ ව්‍යවසාය ශාලාවේදී පැවති ‘අයිතිය උදෙසා ජනමාධ්‍යවේදියෝ’ සංවිධානයේ මහා සභාවේදී ආරාධිත දේශනයක් සිදු කරමිනි.

“මාධ්‍යවේදීන් හමුවේ ඇති වත්මන් අභියෝග” යන තේමාව යටතේ අදහස් දැක්වූ ආචාර්ය හේරත් මහතා, මුද්‍රිත මාධ්‍ය ආයතන වැසී යාම සහ ජනමාධ්‍යවේදීන්ට නිසි පරිදි ගෙවීම් නොකිරීම සම්බන්ධයෙන් සිය දැඩි අවධානය යොමු කළේය. සේවා ගිවිසුම් මත කටයුතු කරන කර්තෘ මණ්ඩල සාමාජිකයින්ට පවා ගෙවීම් ප්‍රමාද වන තත්ත්වයක් වර්තමානයේ උද්ගතව ඇති බව ඔහු පෙන්වා දුන්නේය. ප්‍රාදේශීය සහ නිදහස් මාධ්‍යවේදීන්ට කම්කරු උසාවි වෙත යාමේදී ප්‍රායෝගික ගැටලු පවතින නමුත්, එසේ නීතිමය පියවර ගෙන සාර්ථකව වන්දි ලබාගත් අවස්ථා ද පවතින බව ඔහු සිහිපත් කළේය.

මෙම අර්බුදයට විසඳුම් සෙවිය යුත්තේ තනි තනිව නොව සාමූහික ප්‍රයත්නයක් ලෙසින් බව ඔහු අවධාරණය කළේය. ඒ සඳහා මාධ්‍ය සංවිධාන එක්ව පියවර ගත යුතු බවත්, කර්තෘ සංසදය සහ විද්‍යුත් විකාශකයන්ගේ සංසදය වැනි සංවිධාන සමඟ මේ පිළිබඳව පුළුල් සංවාදයක් ඇති කරගැනීමේ අත්‍යවශ්‍යතාවත් ඔහු පෙන්වා දුන්නේය.

ලෝකයේ වෙනත් රටවල මාධ්‍ය ආයතන මෙම මූල්‍ය සහ පැවැත්ම පිළිබඳ අභියෝගයට මුහුණ දීම සඳහා ‘ඔන්ලයින් දායකත්ව’ (Online subscriptions) වැනි නව ක්‍රමවේද භාවිතා කරන බවත්, ඇතැම් පුවත්පත්වල ආදායම මෑත වකවානුවලදී ඒ හරහා ඉහළ ගොස් ඇති බවත් ඔහු උදාහරණ සහිතව පැහැදිලි කළේය. එහෙත් ජාත්‍යන්තර අත්දැකීම් ශ්‍රී ලංකාවට ආදේශ කිරීමේදී යම් යම් සීමාවන් පවතින බවත්, මෙහිදී මාධ්‍ය ආයතන කළමනාකාරිත්වයට සුවිශේෂී වගකීමක් පැවරෙන බවත් හෙතෙම කියා සිටියේය.

මාධ්‍ය ක්ෂේත්‍රයේ අර්බුදයට විසඳුම් ලෙස ස්විට්සර්ලන්තය වැනි රටවල් ‘මාධ්‍ය බද්දක්’ හඳුන්වා දෙමින් සාම්ප්‍රදායික මාධ්‍ය පවත්වාගෙන යාමට උත්සාහ කළද, ඊට එල්ල වූ සමාජ විරෝධය සහ ඒ හරහා පැවැත්වීමට සිදු වූ ජනමත විචාරණය පිළිබඳව ද ඔහු සභාව දැනුවත් කළේය. මේ නිසා මහේක්ෂ විසඳුම් කෙතරම් දුරට සාර්ථක වේද යන්න ගැටලුසහගත බව පෙන්වා දුන් ඔහු, මාධ්‍යවේදීන් එකමුතු වී ආරම්භක ව්‍යවසාය මට්ටමේ විසඳුම් අත්හදා බැලීමේ වැදගත්කම යළිදු අවධාරණය කළේය.

දිවයින පුරා මාධ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කටයුතු කරන නීතිඥවරුන්ගේ සහ මාධ්‍යවේදීන්ගේ එකතුවක් වන ‘මාධ්‍ය නීති සංසදය’, මාධ්‍යවේදීන් මුහුණ දෙන නීතිමය ගැටලුවලදී සහ අන්තර්ගතයන් නිර්මාණය කිරීමේදී අවශ්‍ය නීති ආධාර හා උපදෙස් සැපයීමට නිරන්තරයෙන් කැපවී සිටින බව මෙහිදී ප්‍රකාශ කෙරිණි. ඊට අමතරව අලුත් නීති පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීම, උද්දේශනය (Advocacy) සහ පර්යේෂණ කටයුතු සඳහා ද මාධ්‍ය නීති සංසදය නිරන්තර සහාය ලබා දෙන බව ආචාර්ය විරංජන හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

Social Sharing
නවතම පුවත්