අධික කළු දුම පිටකරන සහ අධික ශබ්ද නිකුත් කරන වාහන ගැන කියන්න පොලීසියෙන් අංකයක්!

මහජනතාවට පීඩාවක් වන අයුරින් අධික කළු දුම පිටකරන සහ අධික ශබ්ද නිකුත් කරන වාහන සම්බන්ධයෙන් ජනතාවගෙන් තොරතුරු ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය නව වට්ස්ඇප් දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ. ඒ අනුව 070-3500525 යන වට්ස්ඇප් අංකය වෙත එවැනි වාහන පිළිබඳ තොරතුරු යොමු කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

පොලීසිය පවසන්නේ මහජනතාවට පීඩාවක් වන පරිදි වාහන නවීකරණය කරන පුද්ගලයන්ට මෙන්ම මාර්ග ආරක්ෂාවට තර්ජනයක් වන ලෙස ධාවනය කරනු ලබන වාහනවලට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බවයි. මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ වන්නේ මහමඟ ජීවිත සුරක්ෂිත කිරීම, රථවාහන පාලනය සහ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ දිවයිනේ මහාමාර්ගවල ධාවනය වන ඇතැම් වාහන අනතුරුදායක ලෙස නවීකරණය කර ඇති අතර, පැරණි වාහන නිසි යෝග්‍යතා සහතික නොමැතිව ධාවනය කරනු ලබන බව නිරීක්ෂණය වී ඇති බවයි. මෑතකාලීන රිය අනතුරු විශ්ලේෂණයේදී අනාවරණය වී ඇත්තේ අනතුරුවලට ලක් වූ වාහන බොහොමයක් නීති විරෝධී ලෙස නවීකරණය කළ ඒවා බවයි.

මෝටර් වාහන ආඥා පනත අනුව නිෂ්පාදකයා විසින් සකස් කර ඇති සයිලන්සරයේ හැඩය වෙනස් කිරීම හෝ වෙනත් සයිලන්සර සවි කිරීම මඟින් අධික හෝ අමිහිරි ශබ්ද නිකුත් කිරීම නීති විරෝධී ක්‍රියාවක් බව පොලීසිය අවධාරණය කරයි. එසේම වාහනවලට අමතර අනතුරුදායක උපාංග සවි කිරීම, නිවි නිවී දැල්වෙන හෝ විවිධ වර්ණ සහිත අමතර පහන් භාවිත කිරීම, විවිධ නළා (Horns) භාවිතය සහ වාහනයේ බඳෙහි විවිධ චිත්‍ර, මෝස්තර හෝ වෙළෙඳ දැන්වීම් ප්‍රදර්ශනය කිරීමද නීති විරෝධී බව දන්වා ඇත.

මාර්ගයේ ධාවනය වන වාහනයකින් කළු දුම පිටවන්නේ නම්, අදාළ වාහනයේ අංකය, සිද්ධිය වූ දිනය සහ ස්ථානය සඳහන් කර 070-3500525 යන වට්ස්ඇප් අංකය වෙත තොරතුරු යොමු කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Social Sharing
නවතම පුවත්