
කාන්තාවකගෙන් බලහත්කාරයෙන් ලබාගත් බව කියන රුපියල් ලක්ෂ දෙකක මුදලක් නඩු භාණ්ඩ ලෙස වාර්තා නොකර සඟවා තබාගෙන සිටිමින්, කොස්ගොඩ පොලිස් ස්ථානයේ සිර මැදිරියක රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙකුට පලායාමට ඉඩ සැලසූ බවට චෝදනා එල්ල වූ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්ය අංශය පවසයි.
අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා, සිර මැදිරියේ රඳවා සිටි එක් සැකකරුවෙකුගේ බිරියකගෙන් රුපියල් ලක්ෂ දෙකක මුදල ලබාගෙන එය පොලිස් ස්ථානයේ නඩු භාණ්ඩ ලෙස සටහන් නොකර තම සන්තකයේ තබාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කළේය.
පලාගිය සැකකරුවන් දෙදෙනා පසුව ගාල්ල දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් නැවත අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය වූ දිනයේදී සැකකාර කොස්තාපල්වරයා උප සේවක රාජකාරියේ නිරතව සිටි නිලධාරියාගෙන් සිර මැදිරියේ යතුර ඉල්ලාගෙන සැකකරුවන් දෙදෙනා එළියට ගෙන ප්රකාශ සටහන් කරගෙන ඇති බවත්, අනතුරුව ඔවුන් නැවත සිර මැදිරියට දමා ඉබි යතුරු නිසි පරිදි දමා නොතිබීම හේතුවෙන් ඔවුන්ට පලායාමට අවස්ථාව ලැබී ඇති බවත් විමර්ශනවලදී හෙළි වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්ය අංශය වැඩිදුර විමර්ශන පවත්වයි.
