
2025 වසරට අදාළ නවතම දත්ත අනුව මෙරට මද්‍යසාර පරිභෝජනය සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) පෙන්වා දෙයි.
එම දත්ත අනුව, බියර් නිෂ්පාදනය 5% කින් ඉහළ ගොස් ලීටර් මිලියන 0.77 දක්වා වැඩි වී ඇති අතර, මද්‍යසාර නිෂ්පාදනය 17% කින් ඉහළ ගොස් ලීටර් මිලියන 3.35 දක්වා වර්ධනය වී තිබේ.
මෙරට මද්‍යසාර පරිභෝජනය ඉහළ යාමට ප්‍රධාන හේතුවක් ලෙස 2024 වසර ආරම්භයේ සිට මද්‍යසාර මිල සම්බන්ධයෙන් නිසි සංශෝධන සිදු නොවීම හඳුනාගෙන ඇති බව එම මධ්‍යස්ථානයේ විධායක අධ්යක්ෂ සම්පත් ද සේරම් මහතා පවසයි.
උද්ධමනය සහ පුද්ගල ආදායම් වර්ධනයට සාපේක්ෂව මද්‍යසාර මිල ස්ථාවරව පැවතීම හේතුවෙන් මද්‍යසාර මිලදී ගැනීමේ හැකියාව ඉහළ ගොස් ඇති අතර, ඒ මඟින් පරිභෝජනයට සෘජුව බලපෑමක් ඇති වී ඇතැයිද සඳහන් වේ.
එසේම, සුරා බදු ආදායම ඉහළ ගොස් තිබුණ ද, එම ආදායමට වඩා සෞඛ්‍ය හා සමාජීය අහිතකර බලපෑම් වැඩි බව ADIC අවධාරණය කරයි.
2023 වසරේ මද්‍යසාර බදු 20% කින් වැඩි කිරීම හේතුවෙන්, 2022 ට සාපේක්ෂව මද්‍යසාර අලෙවිය ලීටර් මිලියන 8.3 කින් අඩු වී තිබූ අතර, රජයේ බදු ආදායම රුපියල් බිලියන 11.6 කින් ඉහළ ගොස් තිබුණි. එමෙන්ම 2024 වසර ආරම්භයේදී මද්‍යසාර බදු තවත් 20% කින් (14% සහ 6% ලෙස) ඉහළ නැංවීමේ ප්‍රතිඵලයක් ලෙස අලෙවිය ලීටර් 430,000 කින් අඩු වූ අතර, රජයේ බදු ආදායම රුපියල් බිලියන 42.15 දක්වා වර්ධනය වී තිබේ.
තවද, ලෝකය පුරා මරණවල ප්‍රධාන හේතුව ලෙස බෝ නොවන රෝග (NCDs) හඳුනාගෙන ඇති අතර, ශ්‍රී ලංකාවේ මරණවලින් 83%ක්ම ඒවා හේතුවෙන් සිදුවේ. එම රෝග සඳහා බලපාන ප්‍රධාන අවදානම් සාධක අතර මද්‍යසාර සහ දුම්කොළ භාවිතය ප්‍රධාන ස්ථානයක් ගන්නා බවද සඳහන් වේ.
මෙරට දිනකට මද්‍යසාර සහ දුම්කොළ භාවිතය හේතුවෙන් පුද්ගලයින් 50 ක් පමණ මරණයට පත්වන අතර, එය වාර්ෂිකව සම්මතයෙන් 20,000 කට ආසන්න සංඛ්‍යාවක් වන බව ADIC වැඩිදුරටත් පෙන්වා දෙයි.
