
සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරියෙකු (විශ්‍රාමික) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකට අනුව, නීති නිලධාරීවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී ගොඩනැගිල්ලක් සෞඛ්‍ය අමාත්‍යංශයට බදු පදනම මත ලබාගැනීම සම්බන්ධයෙන් මෙම සිද්ධිය සිදුව ඇති බව වාර්තා වේ.
අදාළ ගොඩනැගිල්ලේ බදු ගිවිසුම් කාලය දීර්ඝ කිරීම සඳහා බදු ගිවිසුම් තුනක් සකස් කිරීම වෙනුවෙන්, ගිවිසුම් සකස් කිරීමේ ගාස්තු ලෙස රුපියල් 4,134,887 ක මුදලක් ඉල්ලා ඇති අතර, එයින් රුපියල් 2,000,000 ක මුදලක් ලබාගෙන ඉතිරි මුදල ලබාදෙන ලෙසද ඉල්ලීම් කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම ඉතිරි මුදලෙන් රුපියල් ලක්ෂ 05 ක මුදලක් අදාළ සමාගම නමින් මහජන බැංකුවේ පවත්වාගෙන යන ගිණුමකින් නිකුත් කළ චෙක්පතක් මුදල් කර ලබාගැනීමේදී, තුටු පඬුරු ඉල්ලීම හා භාරගැනීම යන චෝදනා යටතේ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (21) පස්වරු 3.45ට අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඔහු මැයි 5 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව සඳහන් වේ.
