අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ඉක්මනින් විනාශ කිරීමට ජනාධිපති උපදෙස්

අනුර කුමාර දිසානායක මහතා අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොග ඉක්මනින් විනාශ කිරීම සඳහා අදාළ නීති සංශෝධන කඩිනම් කරන ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේ රැස්වීමට එක්වෙමින්ය. එම රැස්වීම ඊයේ (18) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්ය.

එහිදී අනාවරණය වූයේ, ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ කිරීමෙන් පසු මේ දක්වා අත්අඩංගුවට ගැනීම් 124,412ක් සිදු කර ඇති බවයි. එමඟින් ගංජා කිලෝග්‍රෑම් 4520ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 1066යි ග්‍රෑම් 352ක්, අයිස් කිලෝග්‍රෑම් 1930ක්, කොකේන් කිලෝග්‍රෑම් 270ක්, නීති විරෝධී දුම්වැටි 558,300ක් සහ මත් පෙති 983,143ක් අත්අඩංගුවට ගෙන ඇත. එම කොකේන් තොගය ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම සහ මිල අධිකතම එකක් ලෙසද හඳුනාගෙන ඇත.

ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් වර්ධනය වීම සාධනීය වුවද, එම තොග විනාශ කිරීම පිළිබඳ පොදු ජනතාව සහ මෙහෙයුම් අංශවල විශ්වාසය තහවුරු කිරීම අත්‍යවශ්‍ය බවයි. එම කටයුතු ප්‍රමාද වීම වැළැක්වීම සඳහා නීති සංශෝධන කඩිනම් කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.

තවද, පුනරුත්ථාපන පනත වර්තමාන අවශ්‍යතාවලට ගැළපෙන ලෙස සංශෝධනය කිරීම, ඒ සඳහා යෝජනා කඩිනමින් ලබාගෙන අවසන් කිරීම සහ නීති සම්පාදන ක්‍රියාවලිය වේගවත් කිරීම පිළිබඳවද උපදෙස් ලබා දී ඇත.

මෙහිදී වැඩිදුරටත් අවධාරණය වූයේ, මත්ද්‍රව්‍ය සැපයුම් හා බෙදාහැරීම් ජාල බිඳ දැමීම, අධිකරණ සහ පුනරුත්ථාපන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම, සහ ඒ සඳහා සකස් කර ඇති වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කමයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර ළමුන් ද ඇතුළත් වන අතර, පිරිමි දරුවන් 1772ක් සහ ගැහැනු දරුවන් 81ක් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් විය. තවද, සැකකරුවන් 196ක් නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් හඳුනාගෙන ඇති අතර, රැඳවුම් නියෝග යටතේ 2268 දෙනෙකු තබා ඇත. පුනරුත්ථාපනය සඳහා මේ වන විට 1840 දෙනෙකු යොමු කර තිබේ.

කෙසේවෙතත්, පවතින නීතිමය දුර්වලතා හේතුවෙන් පුනරුත්ථාපන ක්‍රියාවලිය ප්‍රමාද වන බවද නිලධාරීහු පෙන්වා දී තිබේ. එමෙන්ම මත්ද්‍රව්‍ය සාම්පල පරීක්ෂණ වාර්තා ලබා ගැනීමට ගතවන කාලය දීර්ඝ වීම හේතුවෙන් නඩු කටයුතුද ප්‍රමාද වන බව සඳහන් විය.

මෙම ගැටලු සදහා විසඳුම් ලෙස, මත්ද්‍රව්‍ය වැරදි සඳහා විශේෂ අධිකරණ පිහිටුවීම, පළාත් මට්ටමින් වෙනම අධිකරණ ක්‍රියාවලියක් ස්ථාපනය කිරීම සහ පොලිස් නීති අංශ ශක්තිමත් කිරීම පිළිබඳ යෝජනාද සලකා බැලුණි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවන් සඳහා ප්‍රතිකාර හා පුනරුත්ථාපන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් ඇති බවද මෙහිදී අනාවරණය විය. බාහිර රෝගී ප්‍රතිකාර, මානසික වෛද්‍ය සේවා, නේවාසික ප්‍රතිකාර, ප්‍රජා පාදක පුනරුත්ථාපනය සහ පසු විපරම් ඇතුළු ප්‍රධාන උපායමාර්ග හයක් යටතේ මෙම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

පාසල් දරුවන් මත්ද්‍රව්‍ය උවදුරෙන් ආරක්ෂා කිරීම සඳහා පාසල් මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, දැනුවත් කිරීමේ වැඩසටහන් සහ ආගමික මට්ටමින් කටයුතු ආරම්භ කිරීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරිණි.

‘රටම එකට’ ජාතික මෙහෙයුම 2025 ඔක්තෝබර් 30 දින ආරම්භ කර ඇති අතර, එහි ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳවද මෙම රැස්වීමේදී විශේෂයෙන් සාකච්ඡා කෙරිණි.

Social Sharing
නවතම පුවත්