
කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ සිටියදී පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව දිනමිණ වාර්තා කරයි.
එම වාර්තාවට අනුව මධුෂ් ඝාතනය වූ දින ඔහුව මාලිගාවත්තට රැගෙන ගිය නිලධාරීන්ගෙන් ඉදිරියේදී ප්‍රකාශ ලබාගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් මාලිගාවත්ත ප්‍රදේශයේදී 2020 වසරේ ඔක්තෝබර් 20 වැනිදා නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කෙරුණි. ඒ ඔහු විසින් ලබාදුන් තොරතුරකට අනුව මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මධුෂ්ව එම ප්‍රදේශයට රැගෙන ගිය අවස්ථාවේදීයි.
මාකඳුරේ මධුෂ්ගේ සහෝදරයෙකු විසින් අදාළ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඉල්ලීමක් කර තිබුණි.
පසුව ඒ සම්බන්ධයෙන් විමර්ශන කිරීමට පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර තිබෙයි.
පසුව ඒ පිළිබඳව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව කොළඹ අධිකරණය වෛද්‍ය නිලධාරියාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හා මාධ්‍ය ආයතනවලින් අදාළ ඝාතනය සම්බන්ධයෙන් වන දර්ශන ලබාගැනීමට නියෝගයක් ලබාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කර ඇත.
