
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දෙවන ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩතහනමකට ලක්කර ඇත. පසුගිය සිකුරාදා (23දා) රැස්වූ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභාව විසින් මෙම තීන්දුව ගෙන ඇත.
කථානායක, සභානායක, විපක්ෂනායක, මුදල් අමාත්‍ය හෝ ඔහුගේ නියෝජිත සහ පාර්ලිමේන්තු මහලේකම්වරයා මෙම උපදේශක සභාවේ නිල නියෝජිතයන් වන අතර පැවැති රැස්වීමට කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න, සභානායක අමාත්‍ය බිමල් රත්නායක, විපක්ෂනායක වෙනුවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, මුදල් අමාත්‍යවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි අනූෂා රෝහණදීර යන මහත්ම මහත්මීහු සහභාගිව සිටියහ.
චෝදනාවට ලක්ව සිටින නියෝජ්‍ය මහලේකම් ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න මහතා කැඳවා ඔහුගෙන් නිදහසට කරුණු විමසා නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක යන මහත්වරුන් මෙහිදී අදහස් දක්වා තිබිණි.
පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨනි නිළධාරියෙකුට එරෙහිව චෝදනාවක් තිබේ නම් ඒ පිළිබඳව මූලික පරීක්ෂණයක් කැඳවා කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් හිමි විය යුතුව තිබු නමුත්, එසේ සිදු නොකර එක්වරම වැඩ තහනම් කිරීමෙන් ස්වාභාවික යුක්ති මූලධර්ම කථානායකවරයා විසින් කඩ කර ඇති නිසා මේ සම්බන්ධව කුලරත්න මහතා විසින් අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට යන බව අයිතිය වෙත වාර්තා වේ.
එමෙන්ම, කුලරත්න විසින් තමාට සිදුවුණ අසාධාරණය සම්බන්ධව අන්තර් පාර්ලිමේන්තු සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලිය පාර්ලිමේන්තු සංගමය, පාර්ලිමේන්තු මහලේකම්වරුන්ගේ ජාත්‍යන්තර සංසදය සහ ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත ද පැමිණිලි කිරීමට පියවර දැනටමත් ගෙන ඇති බව ද වාර්තාවේ.
