
ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පැවැත් වීමට නියමිත මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසිවාරයේදී “ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය” යන මාතෘකාව යටතේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක්, සිය වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතය තිබේ.
මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසිවාරය සැප්තැම්බර් 8 වන දින ආරම්භ වන අතර එය ඔක්තෝබර් 8 දක්වා පැවැත් වීමට නියමිතව ඇත.
මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කරන ලද න්‍යාය පත්‍රයට අනුව, සැසිවාරයේ ආරම්භක දිනයේදී මහ කොමසාරිස් වොල්කර් ටර්ක් ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව ඉදිරිපත් කරනු ඇත. ඒ ඔහු ජුනි මාසයේ දී ශ්‍රී ලංකාවේ දින හතරක නිල සංචාරයක නිරත වූ අතර, ඔහු වාර්තාවට එම නිරීක්ෂණ ඇතුළත් කිරීමට නියමිතව තිබේ.
එමෙන්ම චෙමනි සමූහ මිනීවළ පවතින ප්‍රදේශයේ ඔහු කළ සංචාර සම්බන්ධ තොරතුරු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාවේ ප්‍රමුඛ ස්ථානයක් ගනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.
මේ අතර, එක්සත් රාජධානිය සහ කැනඩාව ලබන මාසයේ පැවැත්වෙන UNHRC හි 60 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට සැළසුම් කර ඇත.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා UNHRC සැසිවාරයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රජයේ නිල ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
