අනුරාධපුර රණජයපුර පාසල් විදුහල්පතිගෙන් සිසුවෙකුට අමානුෂික පහර දීමක්!

හත ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවෙකුට එම පාසලේම විදුහල්පති විසින් අමානුෂික ලෙස පහර දුන් සිද්ධියක් අනුරාධපුරයෙන් වාර්තාවේ. මෙලෙස පහර දීමට ලක් වී ඇත්තේ රණජයපුර මහා විදුහලේ හත ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඩී. එම්. රවිඳු සත්සර නැමැති සිසුවෙකි.

ඉකුත් ජුනි මස 24 වන දා මෙම සිසුවා සහ තවත් සිසුන් දෙදෙනෙකුව විදුහල්පති කාර්‍යාලයට ගෙන්වා කිසිදු විමසීමකින් තොරව මෙම සිසුන් තිදෙනාටම පහර දී ඇත්තේ අධ්‍යාපන චාරිකාවේ ඇතිවූ ගැටළුවක් හේතුකොටගෙනය. ඒ අනුව  විදුහල්පතිවරිය විසින් රවිඳු සත්සර සිසුවාට ඔහුගේ හිස නවා සුෂුම්නාවට ආසන්න ප්‍රදේශයකට පහර දීමක් සිදුකොට ඇති අතර ඉන් අනතුරුව මිනිත්තු 30කට ආසන්න කාලයක් මෙම සිසුවන්ව අව්වේ දණ ගස්වා ඇති බවට වාර්තා වේ. මෙම සිසුවා නිවසට යාමෙන් අනතුරුව ඇති වූ අසනීප තත්ත්වය මත ඔහුගේ දෙමාපියන් විසින් 25 වනදා ඉපලෝගම පොලිස් ස්ථානයට මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකර ඇති අතර ඉන් අනතුරුව සිසුවාව කැකිරාව රෝහලට ඇතුළත් කර තිබේ. වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහුව අනුරාධපුර රෝහලට ඇතුළත් කොට ඇති අතර දින දෙකක ප්‍රතිකාර ගැනීමෙන් අනතුරව 27 වනදා වැඩිදුර ප්‍රතිකාර සඳහා නාරහේන්පිට යුධ හමුදා රෝහලට මෙම සිසුවාව ඇතුළත් කර ඇත.

ඉන් අනතුරුව එදිනිම ඉපලෝගම පොලිස් ස්ථානයට රැගෙන ගොස් එම සිසුවාගේ සෞඛ්‍ය තත්ත්වය පැහැදිලි කර ඇති අතර පොලිස් නිලධාරින් අදාල විදුහල්පතිවරියට පොලිස් ස්ථානයට පැමිණෙන ලෙස දැන්වුවත් ඇය එම අවස්ථාවේ දුර බැහැර සිටින බව පවසමින් පොලිස් ස්ථානයට නොපැමිණ ඇති බවට වාර්තා වේ. පසුව ජූලි මස පළමු දා එම විදුහල්පතිවරිය නැවත කැඳවා ඇති අතර එහිදී ඇය පවසා ඇත්තේ එවැනි පහර දීමක් ඇය සිදු නොකළ බවයි. ඒ අනුව විමර්ශන කටයතු සඳහා පොලිස් නිලධරීන් පාසලට පැමිණ ඇත්තේ පහර කෑමට ලක් වූ අනෙක් සිසුවන් දෙදෙනාගෙන් සාක්ෂි ලබා ගැනීමට ය. නමුත් වර්තාවන අන්දමට නියෝජ්‍ය විදුහල්පති හා ඉතිහාසය විෂය භාර ගුරුවරයා විසින් එම සිසුවන්ට විදුහල්පතිට විරුද්ධව සාක්ෂි ලබා නොදෙන ලෙස බලපෑම් කර ඇති අතර සාක්ෂි නොමැතිකම හේතුවෙන් පොලිස් නිලධාරීන් මෙම පැමිණිල්ල විභාග කිරීම සඳහා සමථ මණ්ඩලයට යොමු කර ඇති බවට වාර්තා වේ. එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් විදුහල්පතිට එරෙහිව පැමිණිළි කරා යැයි පවසමින් දෙමාපියන් විසින් එම සිසුවාගේ නිවස වටළමින් බලපෑම් කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය කැකිරාව කලාප අධ්‍යාපන කාර්‍යාලයට හා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිළි කර ඇත. මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීම සඳහා ඔබටත් ප්‍රාදේශීය මානව හිමිකම් මධ්‍යස්ථාන සමඟ සම්බන්ධ විය හැකි අතර ඒ අනුව අනුරාධපුර ප්‍රදේශය තුළ ඇතිවන මානව හිමිකම් කඩවීම් සඳහා අනුරාධපුර මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය වෙත හෝ අපගේ ප්‍රධාන කාර්‍යාලයට පැමිණිළි ඉදිරිපත් කළ හැක. නැතහොත් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය හා සම්බන්ධ විය හැක.

අනුරාධපුර මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය

නිමල් දිසානායක – 0768182357

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය

0112-669100

www.right2lifelanka.org

 

 

 

Social Sharing
අවකාශය නවතම