ලංකාවට සියල්ල අහිමි වුණේ ජාතිවාදී දේශපාලනය නිසා – මංගල සමරවීර

එදා උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙනම රාජ්‍යයක් ඉල්ලන්නට වූයේ ඔවුන් මුලදී ඉල්ලු දෙමළ භාෂාව කථා කිරීමේ අයිතියට එවකට සිටි රජය අවධානය යොමු නොකර සිටි නිසාවෙන් බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

1948 නිදහස ලබා ගන්නා අවස්ථාවේ දකුණු ආසියාවේ දියුණුම රටක් ලෙස සැලකුණු ලංකාව තුල ජීවත් වූ ජනතාව එදා සිට ජාති, කුල, ආගම් වශයෙන් බෙදෙන්න පටන් ගත් බවත් දෙමළ ජනතාව එදා ඉල්ලුවේ දෙමළ භාෂාව කථා කිරීමේ අයිතිය පමණක් බවද පෙන්වා දෙන ඔහු පවසන්නේ ඊට රජයේ අවධානය යොමු නොවූ නිසාත් දකුනේ ඇති වූ අන්තවාදී දේශපාලනය නිසාත් ඔවුන් පසුකලෙක වෙනම රාජ්‍යයක් ඉල්ලීම දක්වා එය දුරදිග ගිය බවය.

නිදහසින් පසුව දකුනේ ඇති වූ අන්තවාදී බලවේග නිසා පසුව උතුරේත් අන්තවාදීන් පෝෂණය වු බව පෙන්වා දෙන ඒ මහතා පවසන්නේ 1983 කලු ජූලියත් සමඟ මධ්‍යස්ථව සිටි දෙමළ ජනතාව පවා එදා අන්තවාදී දෙමළ දේශපාලනයට යොමු වූ බවය. ඒ නිසා මෙහි වරද ඇත්තේ සිංහල ජනතාව අත බවද ඔහු පවසයි.

1977 විවෘත ආර්ථිකයත් සමඟ කටුනායක නිදහස් වෙළඳ කලාපය ඇරඹීමෙන් පසුව විදෙස් ආයෝජකයින් රැසක් මෙරටට පැමිණ කර්මාන්තශාලා ආරම්භ කළ බවත්, විශේෂයෙන්ම ඉලෙක්ට්‍රෝනික වැඩපලවල් බිහි වූ බවත් සිහිපත් කරන ඔහු පෙන්වා දෙන්නේ 1983 කලු ජූලියත් සමඟ මේ විදෙස් ආයෝජකයින් රැසක්ම යළි ලංකාව හැර දමා මැලේසියාවට ගොස් ඔවුන්ගේ ව්‍යාපාර ආරම්භ කළ බවය. අද මැලේසියාව ඉලේක්ට්‍රොනික අගනුවරක් බවත් එදා 1983 කලු ජුලිය නොතිබුණා නම් අදටත් එම ව්‍යාපාරිකයින් මෙරට සිටින බවත්, එසේ නම් ඉලේක්ට්‍රෝනික නගරය වන්නේ කටුනායක බවද මංගල සමරවීර මහතා පවසයි.

නමුත් ඒ සියල්ල ජාතිවාදි, ආගම්වාදී දේශපාලනය නිසා අහිමිව ගිය බව ඔහු සිහිපත් කරයි.

2009 වසරේ යුද්ධය අවසන් වීමෙන් පසුව අපට යළි එකතුවීමට අවස්ථාවක් ලැබුණත් නමුත් එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එය සිංහලවාදී ජයග්‍රහණයක් ලෙස පෙන්වමින් මහාවංශයේ ජවනිකා රඟපාන්නට පටන්ගත් බවද එය වඩ වඩාත් සිංහලවාදී අන්තවාදයකට ගිය බවත් ඒවායෙහි ප්‍රතිඵලයක් ලෙස අද වන විට රට වැඩි දවසක් නොගොස් බංකොලොත් දේශයක් බවට පත් වෙමින් පවතින බවද ඔහු පවසයි.

අද මේ රට වැටී ඇති ත්ත්වයට වත්මන් ජනාධිපති, අගමැති හා නිදහසින් පසුව මේ රට පාලනය කළ සියලුම රජයන්, විපක්ෂයන් මෙන්ම ඡන්ද දායකයින්ද වගකිව යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.

අද රටේම පාඨය ස ෆෙල් බවත් , නමුත් මේ වන විට රටම ෆේල් බව පවසන ඒ මහතා කියා සිටින්නේ දැන්වත් මේ ග්‍රෝතික දේශපාලනයෙන් පිටතට පැමිණිය යුතු බවය.

ඔහු මේ බව සඳහන් කර සිටියේ උතුරු නැගෙනහිර මාධ්‍යවේදීන් සමඟ සාකච්ඡා කරමිනි.

-ශානි-

Social Sharing
නවතම