පෞද්ගලික අංශයේ වේලාවන් වෙනස් කිරීම ආණ්ඩුව ඉල්ලන් කෑමක්ද?

ඉදිරියේදී රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ කාර්යාල වේලාවන් සංශෝධනය කිරීමට පත් කළ කමිටුව මේ වන විට සිය නිර්දේශ ඉදිරිපත් කර ඇත.

ඒ රාජ්‍ය අංශයේ කාර්යාල පෙරවරු 9.00 ට ආරම්භ කර පස්වරු 4.45 ට අවසන් කිරීමටද  පෞද්ගලික අංශයේ ආයතන පෙරවරු 9.45 ට ආරම්භ කර පස්වරු 6.45 ට අවසන් කිරිමටය.

කොවිඩ් 19 වසංගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමේ හා  මාර්ග තදබදය වළක්වා ගැනීමේත්, රාජ්‍ය හා පුද්ගලික අංශයේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම ඇතිව පුද්ගලික හා රාජ්‍ය අංශයන්හි කාර්යාල ආරම්භ කරන හා අවසන් කරන වේලාව සංශෝධනය කළ යුතු බවට රජය තීරණය කර ඇත.

ඒ පිලිබඳ සොයා බලා නිර්දේශ ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මගී ප්‍රවාහන කළමණාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාට උපදෙස් ලබා දී තිබුණේය.

ඒ අනුව අමාත්‍යවරයා විසින් ඒ සම්බන්ධයෙන් නිර්දේශ ඇතුලත් වාර්තාවක් සැකසීම සඳහා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තිලකරත්න බණ්ඩා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත.

එම කමිටුව විසින් රජයේ හා පෞද්ගලික අංශයේ කාර්යාල වේලාවන් සංශෝධනය විය යුතු අකාරය සඳහා වන නිර්දේශ මෙසේ ඉදිරිපත් කර ඇත.

මෙම නිර්දේශයෙන් ඉදිරියේදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව සුදුසු පරිදි ක්‍රියාත්මක කිරීමට මේ වන විට ආණ්ඩුව සුදානමින් සිටියි.

මෙම නිර්දේශයන් සලකා බැලීමේදී දැඩි ලෙස අසාධාරණයට ලක්ව ඇත්තේ පෞද්ගලික අංශය වේ. රජයේ නිලධාරියාට උදෑසන 9.00 ට සේවයට පැමිණ සවස 4.45 ට සේවය නිමවා යාමට අවස්ථාව ලබා දෙද්දී මොවුන් පෞද්ගලික අංශයට නිර්දේශ කර ඇත්තේ උදෑසන 9.45 ට පැමිණ සවස 6.45 වන තුරු සේවය කළ යුතු බවය. මෙහිදී පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් ගැන කිසිදු තැකීමක් නොකර මෙම නිර්දේශයන් ඉදිරිපත් කර ඇති බව පෞද්ගලික අංශයේ සියලු දෙනාම රජයට චෝදනා කර සිටිති.

සවස 6.45 ට සේවය නිමවා මොවුන් නිවෙස් වලට යා යුත්තේ මහ රෑය. ඒ යන්නටද රාත්‍රියේ විධිමත් පොදු ප්‍රවාහන සේවයක් නැත. විවාහක කාන්තාවක් නම් ඒ මහ රාත්‍රියේද ගොස් ඉවිය යුතුය. රෙදි සේදිය යුතුය. දරුවන්ගේ වැඩ කටයුතු සොයා බැලිය යුතුය. එමෙන්ම මෙලෙස සේවය අවසන් වන වේලාව 6.45 වීම නිසා බොහෝ සේවකයින්ට අමතර සේවා මුරයක් කිරිමේ හැකියාවද අහිමිව යන්නේය.

රජයේ සේවක සේවිකාවන්ට මේ ප්‍රශ්නය මතු වෙන්නේ නැත. ඔවුන් දැනටත් සවස 3.00 පසු වු වෙලේ පටන් ලෑස්ති වෙන්නේ 4.00 දුම්රිය අල්ලා ගැනීමට යාමටය. නැතහොත් බසය අල්ලා ගැනීමට යාමටය. ඔවුන් 4.45 ට සේවය අවසන් කරවුවා කියා අමුතු වෙනස්කමක් නම් ඇති නොවන්නේය.

නමුත් මෙම කාර්යාල වේලාවන් සංශෝධනය සෘජුවම බලපානු ලබන්නේ පෞද්ගලික අංශයටයි.

මෙම නිර්දේශ දෙස බැලීමේදී මොවුන් පෞද්ගලික අංශයේ හාම්පුතුන්ට වාසිදායක වන අයුරින් මෙම වේලාවන් සංශෝධනය කළේද යන්න විටෙක සැක මතු වේ.

කෙසේ නමුදු ආණ්ඩුව වහාම මෙම වේලාව යළි සංශෝධනය කළ යුතුව ඇත. එසේ නොමැතිව මෙය ක්‍රියාත්මක කිරීමට ගියහොත් ඉදිරියේදී සියලුම පෞද්ගලික අංශ වල දැඩි අර්බුදයක් නිර්මාණය වීම වැළක්විය නොහැකි වේ.

-ශානිකා-

Social Sharing
නවතම