online වර්ජනය තවදුරටත්!

තමන් ඇතුලු පිරිස නිරෝධායනයට කියා ගෙන යාමට සහ ගෙන ඒමට තීන්දු ගන්නේ ආණ්ඩුව සහ පොලිසිය බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ නියෝගයකට අනුව ගෙන ගිය බව පැවසුවත් එසේ නියෝගයක් ලබා දී ඇත්තේ කොහේදැයි විමසන ඒ මහතා කියා සිටින්නේ මේ සියලුල සිදු වන්නේ ආණ්ඩුවේ සහ පොලිසියේ උවමනාව මත බවයි.

එදා අධිකරණයෙන් ඇප ලබා දුන් පසුවත් නිරෝධායනයට කියා මුලතිව් ගුවන් හමුදා කඳවුරට රැගෙන ගොස් කලේ නිරෝධායනය නොවන බවත් එය අයුතු රඳවා ගැනීමක් බවද කියා සිටියි.

කොතලාවල පනත හරහා අධ්‍යාපනය පෞද්ගලීකරණය  මෙන්ම මිලිටරිකරණය කිරීමට සුදානමට දැඩි සේ විරුද්ධ බවත් උද්ඝෝෂණ වලදි පොලිසිය දමා අත්අඩංගුවට ගැනීමෙන් ඒ්වා මර්දනය කළ නොහැකි බවද ඔහු පවසයි.

මේ තුලින් පැහැදිවම ඇත්තේ නිරෝධායනය දඩමීමා කරගත් වෘත්තිය මර්දන අරගලයක් බව අවධාරණය  කරන ඒ මහතා පවසන්නේ මෙයට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බවය.

එසේම ගුරුවරුන් ආරම්භ කර තිබෙන ඔන්ලයින්  අධ්‍යාපනය ලබා දීම වර්ජනය කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කරන බවත් මෙය ආරම්භ කළේ මර්දනයට එරෙහිව වුවත් මර්දනය තවම අවසන් නැති නිසා මේ වෘත්තිය සමිති ක්‍රියා මාර්ගයද ක්‍රියාත්මක බව ඔහු කියා සිටියි.

අධ්‍යාපන අමාත්‍යාංශයට කිසිදු වැඩපිළිවෙලක් නොමැති මොහොතක ගුරුවරු තමන්ගේ අතින් වියදම් කරගෙන මෙම ඔන්ලයින් අධ්‍යාපන දරුවන්ට ලබා දුන්නද එමඟින් අධ්‍යාපන ලැබීමට හැකි වූයේ 40%ක පමණ දරුවන් පිරිසකට බවත් 60%කට පමණ කිසිදු අධ්‍යාපනයක් නොලැබුණු බවත් ඔහු සිහිපත් කර සිටියි.

ඒ මහතා මේ බව කියා සිටියේ පසුගිය 17 කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

-ශානි-

Social Sharing
නවතම