කාලකන්ණි අපිද? අධ්‍යාපනයට දුන් මිලියන 996 හොරාකාපු උඹලද? – ලංකා ගුරු සංගමය

ගුරුවරුන්ට අවලාද නඟන මැති ඇමතිවරුන්ට වහාම කටවල් වහ ගන්නා ලෙසත් රටේ දරුවන්ගේ අධ්‍යාපනයට ලෝක බැංකුවෙන් ලැබුණු රුපියල් මිලියන 996ක් හොරා කෑ මේ ආණ්ඩුව කාලකන්නි ආණ්ඩුවක් බවත් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ  (16) පොලොන්නරුවේ දී පැවති ගුරු විදුහල්පති සංගම් ඒකාබද්ධ විරෝධතාවට සහභාගී වෙමිනි. ගුරු හා විදුහල්පති සංගම්වල නියෝජිතයින් විශාල පිරිසක් එක්ව සිටි මෙම විරෝධතාව පොලොන්නරුව පොල හන්දියේ සිට රෝහල හන්දිය දක්වා ගමන් කළ අතර රෝහල හන්දිය අසලදී විරෝධය පළ කර සාමකාමීව විසිර ගියහ.

ගුරු විදුහල්පති වැටුප් විෂමතා වහා ඉවත් කරනු, ගුරුසංගම් නායකයින් දඩයම් කිරීම වහා නවතනු, කොතලාවල පනත වහා හකුලා ගනු. ඔන්ලයින් සදහා පහසුකම් සපයනු ආදී සටන්පාඨ රැගත් විරෝධතාකරුවෝ පැය දෙකකට අධික කාලයක් විරෝධතාවේ නිරත වූහ. එහි දී අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙසේ කීය.

“ගුරුවරුන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් කිසිඳු තැකීමක් නැතුවයි ආණ්ඩුව කටයුතු කරන්නේ. ගුරු සංගම් නායකයෝ අත් අඩංගුවට අරගෙන කොහෙද රඳවාගෙන ඉන්නේ. අත් අඩංගුවට ගත්තේ මොකටද කොවිඩ් නීති කඩකළා කියලා. රදවාගෙන ඉන්නේ කොහෙද අධි ආරක්ෂිත කලාපයක මුලතිව් වල. අපි ඊයේ මුලතිව් නගරයට ගියා හැමතැනම මාර්ග බාධක දමලා අපිව වැලැක්කුවා. මේ කරන්නේ දඩයමක්. ඒ දඩයමට එරෙහිව තමයි දහස් ගණන් ගුරුවරු පාරට බහින්නේ. ගුරුවරුන්ට දහසක් ප්‍රශ්න තියෙනවා. විදුහල්පතිවරුන්ට ප්‍රශ්න තියෙනවා. කිසිදු තැකීමක් නැති ආණ්ඩුව ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට තැන් තැන්වල අවලාද නගනවා කාලකන්නි කියකිය. ඉස්කෝලෙකටවත් නොගිය ඇමතිවරු මේ කියන්නේ. ඔවුන්ගේ ඒ අවලාද නිසා තව තවත් මේ අරගලය උත්සන්න වෙනවා. දැන් අධ්‍යාපන ඇමතිවරයා නින්දෙන් ඇහැරිලා. ඊයේ පවසනවා සාකච්ඡාවලට එන්න කියනවා. අපි මාස ගාණකට කලින් ගුරුවරුන්ගේ විදුහල්පතිවරුන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කළේ අද හීනෙන් ඇහැරිලා. අර අට පාස් හොර ඇමතිවරයා, වැස්සකට වත් ඉස්කෝලේ නොගිය ඇමතිවරයා සනත් නිශාන්ත කියනවා ගුරුවරුලු මේ රටේ අධ්‍යාපනය විනාශ කරන්නේ කියලා. අපි දන්නවා අධ්‍යාපනය විනාශ කරන්නේ අධ්‍යාපනයක් නැති අය කියලා අපි දන්නවා ඇමතිතුමෝ. අධ්‍යාපනය ඕන නැත්තේ මේ වගේ අධ්‍යාපනයක් නැති උන්ට. ඒ නිසා අපි කියනවා කටවල් වහ ගනිල්ලා. උඹලා අධ්‍යාපනය විනාශ කරන්න කරපු දේවල් තව තවත් හෙළි දරවු කරනවා. අපි කියනවා ගුරුවරු ද කාලකන්නි රුපියල් මිලියන 996ක් ලෝක බැංකුවෙන් දුන්නා අධ්‍යාපනය ඉහළ නංවන්න ඒ සල්ලි හොරා කාලා. රුපියල් මිලියන 996ක් හොරා කෑවා. ගුරුවරුන්ට කාලකන්නි කියන්න එන ඇමතිවරුන් ට අපි කියනවා කාලකන්නි උඹලා අපි නෙමෙයි. රටේ අධ්‍යාපනයට ලබා දුන්න සල්ලි හොරාකාපු උඹලා තමයි කාලකන්නි. යැයි ද ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කීය.

ඊෂා  මුදියන්සේ- පොලොන්නරුව

Social Sharing
නවතම