රේගුවෙන් තහනම් කරන ලද ටින් මාලු ඇමති මණ්ඩල නියෝගයෙන් සතොසෙන් මතු වෙයි!

ටින් මාලු නොහොත් සැමන් ටින් අතීතයේ සිටම මහජනතාවට සමීප ආහාර ද්‍රව්‍යයකි. අතීතියේ නම් මේ ටින් මාලු තිබුනේ ගමේ පෝසත් යැයි පැවසෙන නිවසක පමණි. ගමක සෑම පුද්ගලයෙකුටම මේ ටින් මාලු මිලට ගැනීමේ හැකියාව එකල තිබුණේ නැත.

නමුත් වර්තමානය වන විට එම තත්ත්වය වෙනස් වී ඇත. අද දුප්පත්, පොහොසත් සැමගේ නිවස් වල ටින් මාලු නොහොත් සැමන් ටින් භාවිතා කරයි.

විශේෂයෙන්ම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ කොවිඩ් ව්‍යාප්ත වු අවස්ථාවේ, නැව ගිනිගෙන මුහුදුබත් වු අවස්ථාවේ, සුනාමිය අවස්ථාවේ ආදී අවස්ථා වල මෙරට ජනතාවට මත්ස්‍යයින් ආහාරයට ගැනීමට නොහැකි විය. ඒ අවස්ථාවේ බොහෝ දෙනා සැමන් වලට යොමු විය.

අද වෙළඳපොලේ සාමාන්‍ය සැමන් ටින් එකක වටිනාකම රුපියල් 320- 450 දක්වා ඇත. වත්මන් ආණ්ඩුව නම් ජනතාවට ඉතාම සහනදායී මිලකට මේ සැමන් ලක් සතොස හරහා ලබා දෙනු ලබයි.

කොයි කවුරුත් ප්‍රිය කරන මේ සැමන් ගැන විවිධ කථා අපට වරින් වර අසන්නට ලැබුණි. ඒ බාල තත්ත්වයේ බවට සැක සැමන් කන්ටේනර් ගණන් මෙරටට ගෙන්වීම ගැනය. ඒ්වා ඇතැම් අවස්ථා වල ප්‍රතිඅපනයනය කරන අවස්ථාද අසා ඇත්තෙමු.

නමුත් මෙවර අප අනාවරණය කරන්නේ අමුතුම තාලයේ සැමන් ටින් අලෙවියක් ගැනය.

ඒ ජනතාව ප්‍රතික්ෂේප කළ සැමන් ටින් වර්ගයක් අමාත්‍ය මණ්ඩල නියෝගයෙන් යළි ජනතාවටම අලෙවි කිරීමේ සිද්ධියක් පිලිබඳවය. මේවා අලෙවි කෙරෙන්නේ සතොස හරහාය.

දේශීය ව්‍යාපාරිකයෙකු වන කොළඹ, වේල්ල වීදියේ ග්ලෝබල් ග්ලෝබල් ට්‍රේඩිං පුද්ගලික සමාගම විසින් චීනයේ නිෂ්පාදිත සැමන් තොගයක් ලංකාවට ගෙන්වා ඇත්තේ 2020 දෙසැම්බර් මාසයේදීය. ඒ කිචන් කිං මැකරල් නම් සැමන් ටින්ය.  නමුත් ඒ වන  විටත් මෙම සැමන් හොඳ නැති බවට දිගින් දිගටම ග්ලෝබල් ට්‍රේඩිං පුද්ගලික සමාගමට පැමිණිලි ලැබී ඇත්තේ දිවයින පුරා විසිරි සිටින පාරිභෝගිකයින්ගෙනි. මුහුණු පොත හරහා වැඩි වශයෙන් පැමිණිලි ලැබී ඇත.

මේ ගැන අවධානය යොමු කළ ග්ලෝබල් ට්‍රේඩිං සමාගමේ හිමිකරු වහාම මේ පිලිබඳ චීනයේ සිටින අපනයනකරුට කියා ඇත්තේ තවදුරටත් ඔවුන්ගේ සමාගමේ සැමන් අවශ්‍ය නොව බවත් ජනතාව ඒවා ප්‍රතික්ෂේප කරන බවත්ය. නමුත් ඒ වන විටත් සැමන් කන්ටේනර් 15 ක් ලංකාවට එවා ඇති බවත් ඒවා භාර ගන්නා ලෙසත් චීනයෙන් ඉල්ලා ඇත. මෙම සැමන් කන්ටේනර් 15 ඉකුත් දෙසැම්බර් මාසයේදී ලංකාවට පැමිණ ඇති අතර එහිදි ප්‍රමිති ආයතනයෙන් පරික්ෂා කර ඊට අනුමැතියද ලබා දුන් බව පැවසේ. නමුත් ග්ලෝබල් ට්‍රේඩිං සමාගමේ හිමිකරු ඒවා රේගුවෙන් මුදා ගැනීමට ගොස් නැත. ඔහු මේ කන්ටේනර් අවශ්‍ය නැති බවට රේගුවට ලිපියක්ද ලබා දී ඇත. ඒ අනුව මුදවා ගැනීමේ නියමිත කාලය ඉකුත් වු පසු රේගුව විසින් මෙම සැමන් කන්ටේනර් රාජසන්තක කර ති‌බේ.

මේ අතර චීනයේ මෙම සැමන් නිෂ්පාදකයා ලංකාවට පැමිණ මෙම සැමන් තොගය ලබා දීමට වෙනත් ගැණුම්කරුවෙකු සොයා ඇත. නමුත් සියල්ලන්ම මෙය මිලදි ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. එසේ මාසයක් පමණ රස්තියාදු වු ඔහු නැවත චීනයට ගිය පසු ග්ලෝබල් ට්‍රේඩිං සමාගමේ හිමිකරු ඔහුට දන්වා ඇත්තේ තමන් මේ කන්ටේනර් සියල්ල ප්‍රතිඅපනයනය කරන බවටය. ඒ සඳහා කටයුතු සුදානම් කරමින් පැවතියදී අමාත්‍ය මණ්ඩල තීරණයකින් මේ සැමන් තොගය සතොසට ලබා දී ඇත. නමුත් මේ පිලිබඳ කිසිදු දැනුවත් වීමක් ග්ලෝබල් ට්‍රේඩිං සමාගමේ හිමිකරු දැන සිටියේ නැත.

ඒ අනුව රේගුවෙන් තහනම් කරන ලද ටින් මාළු සතොස අලෙවිසැල් හරහා විකිණීමට යවා ඇත. ඒ සමඟම විද්‍යුත් තැපැල් පණිවිඩයක්ද යවා ඇත්තේ  එම සැමන් වල වෙළද නාමය හා දේශීය ව්‍යාපාරිකයාගේ නම මැකෙන ආකාරයට ස්ටිකරයක් අලවා විකුණන ලෙසට උපදෙස් ලබා දෙමිනි.

මේ සම්බන්ධයෙන් උපදෙස් සහිතව ඊමේල් පණිවුඩයක් සහකාර ගිණුම් අංශ ප්‍රධානියෙකු වන රුවිනි දිනූෂිකා මල්වත්ත යන අය විසින් පහුගිය ජුලි 10 දා සියලුම ලක් සතොස අලෙවිසැල් කළමනාකරුවන් වෙත ප්‍රධාන කාර්යාලයෙන් යොමුකර ඇත.

ඒ අනුව මෙම සැමන් ටින් ජාතියේ මිල තීරකය – මැකරල් යනුවෙන් ප්‍රින්ට් කරන අලවන ලෙස එහි සඳහන් කර ඇත. සඳහන්ව ඇති මිල රුපියල් 320 කි.

එම ලේබලය තමන්ට කැමති ස්ථානයකින් මුද්‍රණය කර අලවන ලෙස සතොස ප්‍රාදේශීය වෙළදසැල් වල කලමණාකාරුවන්ට ප්‍රධාන ආයතනයෙන් ලිඛිතව දන්වා තිබේ.

එහි දිග වශයෙන් සෙන්ටිමීටර් 23.5ක් හා පළල සෙන්ටිමීටර් 10.5ක් ලෙස ප්‍රධාන ආයතනය මිනුම් ලබාදී තිබේන අතර එහි වියදම් ආයතනයේ සුළු මුදල් වලින් ලබාගන්නා ලෙසත් දන්වා තිබේ. ලේබලය ඇලවීමේදී එහි තිබෙන ලේබලය ගලවා දමන ලෙස ප්‍රධාන ආයතනයෙන් ප්‍රාදේශීය සතොස වෙළදසැල් වලට උපදෙස් ලබාදි තිබේ නමුත් දැන දැනම ජනතාවට වංචාවක් කිරීමට ඇතැම් සතොස කළමණාකරුවන් එකඟ වී නැත. ඒ නිසා ඔවුන් මේ සැමන් විකිණිමෙන් වැළකි ඇති අතර අදාල ස්ටිකරයද ප්‍රින්ට් කිරිමෙන් වැළකි ඇති බව අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා විය.

ප්‍රති අපනයනයට සූදානම් කර තිබූ සැමන් මෙසේ අලෙවි කරන බව මෙම  සැමන් තොගය ගෙන්වූ ග්ලෝබල් ට්‍රේඩිං සමාගමද පිළිගනී. තමන් ගෙන්වූ සැමන් මෙසේ අලෙවි කිරීමට ආනයනකරු දැඩි විරෝධයක් දක්වා ඇති අතර සතොස පාලන අධිකාරියේ අමාත්‍යවරයාගේ සිටම  ඉහළ නිලධාරීන් හමුවී ඔහු මේ බව පවසා ඇත.

එසේම මේ මේ කිචන් සැමන් පිලිබඳ  පාරිභෝගික සේවා අධිකාරියටද ජනතාවගෙන්  පැමිණිලි ලැබී ඇත්තේ ඒවා භාවිතයට නුසුදුසු, බාල තත්ත්වයේ සැමන් බවටය. ඒ අනුව පාරිභෝගික අධිකාරිය විසින්ද මේ සැමන් වල සාම්පල මේ වන විට පරීක්ෂාව සඳහා යොමු කොට ඇති අතර තවමත් ඒ පරීක්ෂණ ප්‍රතිඵල ලැබී නොමැති බවද පැවසේ.

එවන් පසුබිමක් තුල මේ කිචන් සැමන් මැකරල් නමින් දැන් යළි වෙළඳපොලට පැමිණ ඇත.

Lanka Sathosa Cabinet Orders canned fish sri lanka

Lanka Sathosa Cabinet Orders canned fish sri lanka

Lanka Sathosa Cabinet Orders canned fish sri lanka

-ශානි-

Social Sharing
නවතම