පුද්ගලිකව දක්වන අදහස් වලට පක්ෂයක් විදියට කලබල වෙන්නේ නෑ! – හිටපු ජනාධිපති

මන්ත්‍රීවරුන් ඇමතිවරුන් පුද්ගලිකව විවිධ අදහස් ප්‍රකාශ කළත් රජය ලෙස හෝ ආණ්ඩු පක්ෂය ලෙස හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබදව ප්‍රකාශ කර නැති බවත්, විවිධ අය ප්‍රකාශ කරන දේවල් පිළිබඳව කලබලවිය යුතු නැති බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුවේ දී  පෙරේදා (10) පැවති පොල්පැල බෙදාදීමේ වැඩසටහනකට සහභාගී වෙමින් සිටිය දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්වනවල පිළිතුරු දෙමිනි. එහි දී මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය.

“ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම හා මේ රටේ සංවර්ධනය පදනම් වී තිබෙන්නේ කෘෂිකර්මාන්තය මතයි. ඒ නිසා මේ කෘෂිකර්මාන්තයේ වැදගත් අංශයක් තමයි අපේ රටේ පොල් වගාව තව තවත් සංවර්ධනය කිරීම. මීට අවුරුදු හතලිහකට පනහකට කලින් මේ රටේ තිබුණු පොල් නිෂ්පාදනය අද ඇතිවන්නේ නැ. ඒකට හේතු රාශියක් තියෙනවා විශේෂයෙන් ම ඉඩම් කට්ටි කිරීම විශාල පොල්වතු කඩා වෙන් කිරීම, රිලවුන් වඳුරන් විසින් පොල් පලදාවට කරන හානිය වගේ හේතු ගොඩක් තියෙනවා. ඒ නිසා රජය විසින් පොල් සංවර්ධන මණ්ඩලය සමග පොල් වගාව තව දුරටත් දියුණු කිරීම සදහා පොල් පැල ලක්ෂ 40ක් බෙදා දීමේ වැඩ පිළිවෙල මේ රටට අත්‍යවශ්‍ය කෘෂිකාර්මික අංශයක් විදිහට සලකන්න පුලුවන්. දේශීය වශයෙන් ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය හා විදෙස් විනිමය උපයන මාර්ගයක් ලෙස පොල් වගාවට ගොවීන් දවන දායකත්වය උනන්දුව වැඩි දියුණු කළ යුතුයි.”

මෙහි දී මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් රටේ වර්තමානයේ උද්ගතව ඇති ප්‍රශ්න ඉදිරිපත් කළ හ.

ප්‍රශ්නය : වර්තමානය වන විට දේශපාලන වේදිකාවේ දැඩි උණුසුම් බවක් පෙනෙන්න තිබෙනවා. නමුත් ඔබතුමාගේ නිහඩතාවට හේතුවක් කුමක් ද කියා ජනතාව විමසනවා.

පිළිතුර : දේශපාලන වේදිකාවේ මම ඉතින් වැඩි සද්දයක් දාන කෙනෙක් නෙමෙයි නේ.

ප්‍රශ්නය : දිනෙන් දින භාණ්ඩ මිල ඉහළ යමින් තිබෙනවා. විශේෂයෙන් ම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඔබතුමාගේ පාලන කාළයට වඩා විශාල වශයෙන් මිල ඉහළ ගිහින් තියෙනවා.?

පිළිතුර : භාණ්ඩ මිල ඉහළ ගිහින් තියෙන්නේ රටේ තිබෙන ආර්ථික තත්ත්වයත් එක්ක ඇතිවෙලා තියෙන දෙයක්. ඒක නිසා රටේ ආදායම් වර්ධනය කර ගැනීමත් විදේශ විනිමය වර්ධනය කර ගැනීමත් මත තමයි ඔය ප්‍රශ්න විසඳා ගැනීමට පුළුවන් වෙන්නේ.

ප්‍රශ්නය : බැසිල් රාජපක්ෂ ඇමතිවරයා සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස මොකද්ද ?

පිළිතුර : කාගෙන් හරි හොඳ දෙයක් වෙනවා නම් හොඳයි. රටට අවශ්‍ය වෙන්නේ රටට හොඳ දෙයක් වෙන්නයි.

ප්‍රශ්නය : ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිතුමා සහ වර්තමාන ආණ්ඩුව බලයට ගෙන එන්න විශාල වැඩකොටසක් කළා. නමුත් දැන් ආණ්ඩුවේ මැති ඇමතිවරු කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ සුළු පක්ෂයක් ඒ නිසා මැති ඇමතිකම් වලින් ඉවත් වුණාට කමක් නැ කියලා කියනවා. මොකද්ද ඔබතුමාගේ අදහස.?

පිළිතුර : ඒවා එක එක්කෙනාගේ අදහස්. රජය විදිහටවත් පක්ෂය විදිහටවත් කියන දේවල් නෙමෙයි ඒවා. මේ එක එක්කෙනා කියන දේවල්වලට අපි කලබලවිය යුතු නෑ.” යැයි ද හිටපු ජනාධිපතිවරයා පැවසීය.

බණ්ඩාර මුදියන්සේ පොලොන්නරුව

Social Sharing
නවතම