ආණ්ඩුවේ අසමත් බව, නොහැකියාව ජනතාවගේ පිටින් යවනවා – හිටපු කථානායක කරූ ජයසුරිය

අමු අමුවේම නීතියට පා පහරවල් දෙනවා නම් අධිකරණ නියෝගවලට කණේ පහරවල් එල්ලකරනවා නම් අධිකරණ පද්ධතියෙන් රටකට කුමන ප්‍රයෝජනයක්දැයි  සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කථානායක කරූ ජයසුරිය මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (11) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එම මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේද කියා සිටියේය.

ජනතාව මර්දනය කිරීමේ ක්‍රියාදාමය දැනටමත් ආරම්භ වී තිබෙනවා.  රටේ ආර්ථිකය බංකොලොත් වෙමින් පවතිනවා. ජනතාවගේ පැවැත්ම අන් කවරදාකටවත් වඩා අවිනිශ්චිත භාවයකට පත් කර තිබෙනවා. වෙන එකක් තබා, තමන් පෙළෙමින් පවතින පීඩාව ගැන කියන්නට පවා නිදහසක් අද ඔවුන්ට නැහැ. ආණ්ඩුවේ අසමත් බව, නොහැකියාව ජනතාවගේ පිටින් යවමින් තිබෙනවා. අද මේ රට මිනිස් නිදහස තුට්ටුවකටවත් ගණන් නොගන්නා තත්ත්වයකට ඇද දමා තිබෙනවා. කොරෝනා වසංගතයෙන් ජනතාව මුදා ගන්නවා වෙනුවට එම වසංගතයට මුවා වෙමින්, එය ආශිර්වාදයක් කරගනිමින් අද රජය ජනතාව මර්දනය කරමින් තිබෙනවා. එය ඉතා වේදනාකාරී තත්වයක්. ඒ අනුව ජනතාව එකාවන්ව නැඟී සිට මෙම අනතුර පරාජයට පත් කළ යුතුය. අද අප ලබා දෙන ප්‍රමුඛ පණිවුඩය එයයි.

වගා කරන්නට පොහොර ඉල්ලන ගොවියන්, ගොවි නායකයන් අද බලහත්කාරයෙන් කුදලගෙන යනවා. නිදහස් අධ්‍යාපනය ස්ථාපිත කරන්නට පෙරට එන ශිෂ්‍යයන් අත්අඩංගුවට ගනිමින් ඉන්නවා. ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටින පුරවැසියන්ට පොලිස් මර්දනය මුදාහරිමින් තිබෙනවා. එවැනි තත්ත්වයන් රාශියක්ම පසුගියදා අප දුටුවා. රජය ඒවාට පිළිතුරු දෙමින් සිටින්නේ කෙසේද? අපේ සංස්කෘතිය තුළ චීවරයට දක්වන්නේ විශාල ගෞරවයක්. අප දුටු ඡායාරූප අනුව බෞද්ධ භික්ෂූන් වහන්සේ ඇදගෙන ගියේ කුණු මාළු කෑල්ලක් ගෙන යන ආකාරයටය. වැඩිහිටි කාන්තාවන්ට සැලකුවේ ඉතා නින්දා නින්දා සහගත ආකාරයට. මේ රටේ වෘත්තීය සමිති නායකයන් ගණනාවක් අත්අඩංගුවට ගත්තා. එහිදී ජෝසප් ස්ටාලින් මහතා බලහත්කාරයෙන් රැගෙන ගිය ආකාරය ඔබ දකින්නට ඇති. තරුණ කාන්තාවන්ගේ ඇඳිවත පවා ඉරා දමමින් පොලීසිය විසින් කුදලාගෙන ගිය ආකාරය නින්දනීයයි. නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී රටක එවැනි දේ සිදු විය නොහැකිය. එය වඩාත්ම බරපතළ වන්නේ ඒ සියලු ක්‍රියාවන් අනීතිකව, නීතියට පටහැනිව සිදු කරමින් තිබෙන නිසයි.

අප දන්නා අන්දමට යම් චෝදනාවකට අදාළව පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියට බලයක් තිබෙනවා. එවැන්නක් සිදු විය යුත්තේ රටේ පවතින නීතියට අනුකූලවයි. එහෙත් අද සිදුවන්නේ කුමක්ද? සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් නිකුත් කර ඇති නිරෝධායන රෙගුලාසි පවා අවභාවිතා කරමින්, රෝග මර්දනය සඳහා එය යොදා ගන්නවා වෙනුවට ජනතාවගේ කතා කිරීමේ අයිතිය මර්දනය කිරීම දක්වා එය යොදා ගනිමින් තිබෙනවා.  නිරෝධායන නීතිය අවභාවිතා කරන්නට පොලීසියට කිසිදු බලයක් නැත.  විශේෂයෙන්ම අධිකරණය මගින් ඇප ලබා දී මුදාහරින ලද පිරිසක් අධිකරණ භූමිය තුළදීම පොලිස් අත්අඩංගුවට ගෙන බලහතුකාරයෙන් රැගෙන යනවා නම් එය නීතිවිරෝධී පැහැරගෙන යෑමක් මිස වෙන කිසිවක්ම විය නොහැකිය. අද අපේ රටේ මේ දේවල් සිද්ධ වෙන්නේ මහ දවාලයේය. විශාල ජනතාවක් ඉදිරිපිටයි. රටේ උත්තරීතර අධිකරණ භූමිය තුළයි. මේ තත්ත්වය මේ විදියට වර්ධනය වුවහොත් විනිශ්ච ආසනය ඉදිරියේ සිටින පුද්ගලයන් පවා පොලීසිය මගින් පැහැරගෙන යන තත්ත්වයක් උදාවිය හැකිය. රටේ නීතියට ඒ තරමටම අවමන් කරමින් තිබෙනවා. මේ අතිශය භයානක තත්ත්වයක්. මෑත ඉතිහාසයේදී ලෝකයේ පහළ වූ බිහිසුණුම ඒකාධිපතියා ලෙස සැලකෙන හිට්ලර්ගේ පාලන සමයේදී හා උගන්ඩාව එක් කාලයකදී පාලනය කළ  ඉඩි අමීන්ගේ පාලනය යුගයේදී මෙවැනි දේ සිදුවුණා. ඒ නිසා මේ ගැන අන් සියල්ලන්ටම වඩා අවධානයක් යොමු කළ යුතුව ඇත්තේ මේ රටේ නීති ප්‍රජාවය.  අධිකරණයයි.

මෙය සිදුවන ආකාරයට අමු අමුවේම නීතියට පා පහරවල් දෙනවා නම් අධිකරණ නියෝගවලට කණේ පහරවල් එල්ලකරනවා නම් අධිකරණ පද්ධතියෙන් රටකට ඇති ප්‍රයෝජනය කුමක්ද? එවැනි රටක ප්‍රජාතන්ත්‍රවාදය ඉතුරු වේවිද? මෙය අතිශය භයානක ප්‍රවණතාවයක්. වහා පරාජය කළ යුතු තත්ත්වයක්. එසේ නොවුවහොත් මේ රටේ අනාගතය තව බොහෝ සේ අඳුරු විය හැකියි. ඛේදනීය විය හැකියි. භයංකර විය හැකියි. ඒ බව මේ රටේ පුරවැසියන්ද ඇතුළු වගකීමක් ඇති, රට ගැන කැක්කුමක් ඇති සියලුම දෙනා තේරුම් ගත යුතුව ඇතැයි  අප විශ්වාස කරනවා. ඒ අනුව අධිකරණ නියෝග වලට පිටින් බලහත්කාරයෙන් රැගෙන ගොස් රඳවාගෙන සිටින සියළුම වෘත්තීය සමිති හා ක්‍රියාකාරීන් වහාම නිදහස් කරන ලෙස අප ඉල්ලා සිටිනවා. ජෝසප් ස්ටාලින් වැනි අය අන්තර්ජාතික ගෞරවයට පත් වෘත්තීය සමිති නායකයින්.

ඒ වගේම අද මේ රටේ මෙවැනි දේවල් සිදුවන්නේ හුදු අහම්භයකින් නොවන බවද අප තේරුම් ගත යුතු වෙනවා. ඒ නිසා මෙය සැලැස්මකට අනුව ක්‍රමානුකූලව සිදු කරන මර්දනයක් බව පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. එහි අරමුණ ප්‍රජාතන්ත්‍රවාදය මේ රටෙන් තුරන් කිරීම මිස වෙන කිසිවක් නොවේ. මහජන පරමාධිපත්‍ය බලය පාගා දමමින් ඒකාධිපති අත්තනෝමතික රාජ්‍යයක් ගොඩ නැගීම එහි අවසන් ප්‍රතිඵලයයි.

-ශානි-

Social Sharing
නවතම