පොලිස් කොස්තාපල්වරයෙක් බීමතින් 16 හැවිරිදි සිසුන් දෙදෙනෙකුට පහර දෙයි.

හම්බන්‌තොට වරාය පොලිසීයේ පොලිස්  කොස්තාපල්වරයෙකු කාර්මික විද්‍යාලයක සිසුන් දෙදෙනෙකුට මහමඟදී පහර දීමක් සම්බන්ධව  අයිතිය වෙබ් අඩවියට වාර්තා විය.

හම්බන්තොට, ගොඩවාය පදිංචි 16 හැවිරිදි පැහැසර සුදුසිංහ නැමැති දරුවා ඉකුත් 05 දා මිතුරෙකු සමඟ මිරිජ්ජවිල කාර්මික අභ්‍යාස විද්‍යාලයේ ශ්‍රමදානයකට  ගොස් පස්වරු 5.00 ට පමණ නිවස බලා පාගමනින් යන අවස්ථාවේ යතුරුපැදියකින් පැමිණි හම්බන්තොට වරාය පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙක් හා තවත් පුද්ගලයෙකු පැමිණ මෙම පහර දීම කර ඇති බව පැවසේ.

අධික බීමතින්, සිවිල් පිට සිටි මෙම නිලධාරියා පහර දීමට පෙර මෙම දරුවන් ළඟට පැමිණ මුඛ ආවරණ ගලවන ලෙස තර්ජනය කර ඇත. නමුත් එහිදී ඔවුන් මුඛ ආවරණ  ගැලවීමෙන් වැලකී ඇත. ඊට උරණ වූ මෙම පුද්ගලයා මොවුන්ට දැඩි ලෙස පහර දී ඇති බව පැහැසර ගේ මව වන රේණුකා මහත්මිය පවසයි.

මෙම පහරදීම පොලිස් කොස්තාපල් කසුන් තරංග යන අය විසින් සිදු කළ බවට මෙහිදී ඔවුන් හඳුනාගෙන ඇත.

පහරකෑමට ලක්ව නිවසට ගිය මෙම දරුවන් දෙදෙනා රැගෙන ඔවුන්ගේ දෙමාපියන් වහාම හම්බන්තොට වරාය පොලිසීයට ගොස් ඇත්තේ මෙම සිද්ධිය පැමිණිලි කිරිමටය. ඒ අවස්ථාවේ එහි රැඳී සිටි පොලිස් නිලධාරියා පැමිණිල්ල ලිවීමට පෙර වහාම මෙම දරුවන් රෝහල් ගත කරන ලෙස ඔහු උපදෙස් ලබා දීම නිසා දරුවන් දෙදෙනාව හම්බන්තොට රෝහලට ඇතුලත් කර ඇත. පැහැර දරුවා වාට්ටු අංක 06 වෙත යොමු කර ඇත. ගෙල ඉදිමී, ගෙලෙහි සීරුම් සහිත පහර දෙන ලද ඇගිලි සලකුණු දක්නට තිබු බවත්  කම්බුල හා හක්ක ඉදිමී අධික වේදනාවක් හා  පපුව ඉමිමී තිබුණු බවද පැහැසරගේ මව පවසයි.

ප්‍රතිකාර ලබා පැහැසර රෝහලෙන් පිටත්ව ගොස් ඇත්තේ ඊයේ (08) දිනය. වෛද්‍යවරැන්ගේ උපදෙස් පරිදි කොලර් එකක් පැලදීම මේ වන විට ඔහු සිදු කරනු ලබයි. ඊයේ දින ඔහුගෙන් ප්‍රකාශයක් හම්බන්තොට වරාය පොලිසිය විසින් ලබා ගෙන ඇත.

මෙම පහර දුන් කසුන් තරංග පොලිස් නිලධාරියා මීට පෙරද උඩබැරගම ප්‍රදේශයේ පදිංචිකරැවකු වූ එස්.ආර්.ජී. සාගර  නැමති අයෙකු හට පහරදීමක් සිදු කිරිම නිසා, ඔහුට  එරෙහිව ජාතික පොලීස් කොමිෂමේ NPC/PCID/SOU/HA/31/2019 යන අංකය යටතේ විමර්ෂණයක් සිදූකරමින් පවතියි. එමෙන්ම, මානව හිමිකම් කොමිසම, හා අධීකරණයේ  නඩුකරයක් ඇති බවද පැවසේ.

මෙම පහර දීම සම්බන්ධව ඇති තවත් විශේෂත්වයක් ඇත. ඒ මේ හම්බන්තොට පොලිසියේ නිලධාරීන් විසින් මසක් පමණ කාලයකදී සිවිල් පුද්ගලයෙකුට පහර දුන් දෙවන අවස්ථාව මෙය වීමය.

මෙම පහර දීම සම්බන්ධව පැහැසරගේ දෙමාපියන් මේ වන විට හම්බන්තොට සහකාර පොලිස් අධිකාරීවරයා වෙත පැමිණිලි කර ඇති අතර හම්බන්තොට රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය වෙතද පැමිණිලි කර ඇත.

ශානි/ තරංග

Social Sharing
නවතම