රිෂාඩ්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් වලටත් කැපිල්ලක්ද?

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉකුත් අප්‍රේල් 24 දා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා හා ඔහුගේ සොහොයුරු වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරනයේ ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා අධිකරණය හමුවේ දැනුම් දී තිබුණේ ඉකුත් 05 දාය.

නීතිවිරෝධී ලෙස රැදවුම් බාරයේ තබා ගෙන සිටින තමන්ව වහාම මුදාහරින්නැයි ඉල්ලා රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් වෙන වෙනම මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණි. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා,  යසන්ත කෝදාගොඩ සහ ඒ.එච්.එම්.ඩී. නවාස් යන මහත්වරුන් ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලීමට නියමිතව තිබු නමුත් ඒ විනිසුරුවන් තිදෙනාම ඉන් ඉවත් වුයේ පෞද්ගලික හේතුවක් මත බව පවසමිනි.

ඉන් අනතුරුව මෙම පෙත්සම් සලකා බැලීමට නියම වුයේ මුර්දු ප්‍රනාන්දු, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය. නමුත් මේ වන විට එම  ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු මහින්ද සමයවර්ධන මහතාද  දැනුම් දී ඇත්තේ  පුද්ගලික හේතුවක් මත තමා එම පෙත්සම් සලකා බැලීමෙන් ඉවත් වන බවය. මෙලෙස ඉවත් වූ සිව්වැනි විනිසුරුවරයා වන්නේ ඔහුය.

ඒ හේතුවෙන් මෙම පෙත්සම් වෙනත් විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීම සදහා ලබන 08 වැනිදාට කල් තැබීමටද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත.

මෙම පෙත්සම් මඟින් පෙත්සම්කරුවන් කියා සිටින්නේ කිසිඳු සාධාරණ හේතුවක් නොමැතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් අප්‍රේල් මස 24 වන දා අලුයම තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිටින බවය.

මේ අතර මේ සම්බන්ධව ඊයේ (06) පාර්ලිමේන්තුවේද කතාබහට ලක් විය. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පවසා සිටියේ රිෂාඩ් බදූර්දීන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමේදී එක පෙළට විනිසුරුවරුන් ඉල්ලා අස්වීම බරපතළ ලෙස ගැටළු සහගත බවය.

ඒ මහතා පවසා සිටින්නේ මේ පිළිබඳව යම් නිශ්චිත ක්‍රමවේදයක් අවශ්‍යය බවත්  විනිසුරු මඬුල්ලක් නම් කිරීමට පෙර මේ ගැන සොයාබලා මෙවැන්නක් සිදුනොවීමට කටයුතු කිරීමට අඩුම වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයකාරතුමාවත් දැනුවත් විය යුතු බවය.

මේ නිසා මේ වන විට රිෂාඩ් බදූර්දීන් මන්ත්‍රීතුමා දින 73ක් රැඳවුම් භාරයේ හිඳීමට සිදුව ඇතැයිද මේ විනිසුරුවරුන් ඉල්ලා අස්වීමේ හේතුව මත පමණක් ඒ මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම අවස්ථා ගණනාවකදී කල්ගිහින් ඇති බවද හකීම් මහතා පෙන්වා දෙයි.

එම අවස්ථාවේදී ඊට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා ප්‍රකාශ කර සිටියේ “මම මේක දැක්කෙත් පත්තරෙන් බවය. මට මේ සභාවේ වෙන දේවල් දැනුම් දෙන්න විතරයි පුළුවන්, අපට වෙන බලයක් නෑ අධිකරණයට මැදිහත් වෙන්න හෝ උපදෙස් දෙන්න. කෙසේවෙතත් මෙතන ගැටළුවක් තියෙනවා, මම එකඟයි ඒ සම්බන්ධයෙන්” ඔහු වැඩිදුරටත් කියා තිබුණි.

-ශානි-

Social Sharing
නවතම