රණවිරු දඩයම ලේබල් එක ආවේ රාජපක්ෂ ආණ්ඩු වලට විතරයි – මනූෂ නානායක්කාර

මාධ්‍යවේදී  තරිදු ජයවර්ධනට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් කළ තර්ජනය සම්බන්ධ පරීක්ෂණවල ප‍්‍රගතිය කුමක්දැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා ඊයේ (06) දින පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය.

රණවිරු දඩයම ලේබලය අලවාගෙන ශානි අබේසේකර ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන්ගෙන් ආණ්ඩුව පලි ගන්නා බවත් ජනමාධ්‍ය නිදහසේ හතුරෙක් බවට ජනාධිපතිවරයා පත්වී ඇති බවත්, ඒ මහතා පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් මේ ආකාරයට පලි ගනිමින් අපරාධකරුවන් සැඟවීමට උත්සාහ ගන්නේ කුමන් හේතුවක් නිසාදැයි ප‍්‍රශ්ණ කළ මන්ත‍්‍රීවරයා, මේවාට සම්බන්ධ ආණ්ඩුවේ අය සැගවීමේ උත්සාහයක් තිබේදැයි විමසා සිටියේය..

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානානයක්කාර මන්ත‍්‍රීවරයා මෙසේද කීවේය.

පොලීසියේ විවිධ කොට්ඨාශවලට විමර්ශණ කටයුතු පැවරෙනවා. පොලිස් අත්අඩංගුවේ සිටින අයට විවිධ වධ හිංසා ඇතිවීම වැලැක්වීම සදහා පොලීසිය කණපිට හරවලා හරි හදනවා කියලා පොලීසිය භාර ඇමැතිතුමා කිව්වා. හැබැයි පොලිස් ඇමැතිතුමාට මේ කාරණාව කරන්න බැරිවෙලා

ගිය මාසයේදී මඩකලපුවේදී පොලිස් බුද්ධි අංශ අත්අඩංගුවටගත් තරුණයෙක් සහ පානදුර පොලීසිය විසින් අත්අඩංගුවට ගත් තරුණයෙක් මිය ගියා. මේ අවස්ථාවේදී  මිලියන අටසීය විසි නමයක් වැය කරලා ත‍්‍රීරෝද රථ ගත්තේ මේ වගේ ප‍්‍රශ්ණ විසදන්නද.

ඉලෙට්‍රික් වාහනවලට යන්න කතා කරන අය, කාබනික දේවල්වලට යන්න කතා කරන අය ත‍්‍රීරෝද රථ දෙදහසක් ගන්න කටයුතු කළේ ඇයිද කියන එක ගැනත් ප‍්‍රශ්ණයක් තියෙනවා.

ඒ අතරේ පාතාලයට සම්බ්නධ අපරාධකරුවන්, පොලිස් අත්අඩංගුවේ සිටියදී ඝාතනයට ලක්වෙනවා. රිෂාඩ් බදියුදීන් වගේ මන්ත‍්‍රීවරු ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රදවාගෙන ඉන්නවා.

ලංකාදීප පත්තරේ මාධ්‍යවේදී තරිදු ජයවර්ධන ආණ්ඩුවත් විවේචනය කළා. විපක්ෂයත් විවේචනය කළා. ප‍්‍රශ්ණ ඇහුවා. එතුමාට අද දේශබන්දු තෙන්නකෝන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තර්ජනය කරනවා. මේ සම්බන්ධයෙන් තරිදු ජයවර්ධන පැමිණිල්ලක් කරලා තියෙනවා.

මේ පැමිණිල්ල සම්බන්ධයෙන් ගත් ක‍්‍රියාමාර්ග මොනවාද කියලා තවම එළියට ඇවිත් නැහැ. එදා ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීම, ප‍්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය, වගේ දේවල් එක්ක එකට ගැටගැහෙනකොට අද ජාත්‍යන්තරයේදී මොකද වෙලා තියෙන්නේ.

Gotabaya Rajapaksa reporters without borders

දේශ සීමා රහිත මාධ්‍යවේදීන්ගේ සංවිධානය විසින් ඉදිරිපත් කර තිබෙන 2021 වාර්තාව අනුව මාධ්‍ය නිදහසේ හතුරන් ලෙස ලෝක නායකයින් තිස් හත් දෙනෙක් හදුනාගෙන තිබෙනවා. ඒ වාර්තාවේ දකුණු ආසියාවේ නායකයින් තිදෙනා අතරට ලංකාවේ ජනාධිපතිවරයාත් ඇතුළත්වී සිටිනවා. ජනමාධ්‍ය නිදහසේ හතුරෙක් බවට ඔහු පත්වී තිබෙනවා. මෙසේ ඔහු ජනමාධ්‍ය නිදහසේ හතුරෙක් බවට පත්වීමට මේ සිදුවෙන දේවල් බලපානවා.

තාජුඩීන් ඝාතනය, ලසන්ත ඝාතනය, ත‍්‍රිකුණාමලයේදී තරුණයින් එකොළොස් දෙනෙකේ ඝාතනය වීම වගේ දේවල් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විට ඒවා රණවිරු දඩයම් ලෙස නම් කළා. ඒත් මේවා හිටපු ජනාධිපතිවරයා, වත්මන් ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරන කාලයේදී ඔවුන්ගේ නියෝගයෙන් ආරම්භ කළ පරීක්ෂණ.

ප්‍රේමවතී මනම්පේරි ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරුවන් බවට පත්වූ හමුදා නිලධාරීන්ට දඩුවම් ලැබුණා. සූරියකන්ද සමූහ ඝතානවලට සම්බන්ධ අයට දඩුවම් ලැබුණා. උඩතලවින්න ඝාතනයට සම්බන්ධ සෙබළුන්ට දඩුවම් ලැබුණා. රේගු අධිකාරී සුජිත් ප‍්‍රසන්න ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවූ යුද හමුදාවේ රයිඩර් බලකායේ සාමජිකයාට දඩුවම් හිමිවුනා. ඒත් මේ කිසිඳු අවස්ථාවකදී රණවිරුවන් දඩයම් කරනවා කියලා කිව්වෙ නෑ,

හැබැයි රාජපක්ෂ ආණ්ඩුව කාලයේදී සිදුවූ ඝාතනවලට හමුදා බුද්ධි අංශයේ සාමාජිකයින් සම්බන්ධ බවට තොරතුරු වාර්තාවන විට තමයි රණවිරු දඩයම කියන ලේබල් එක ගහන්න ගත්තේ. රණවිරු දඩයම ඉදිරියට දාලා, අපරාධකරුවන් සැඟවීමට උත්සාහ ගත්තේ ඇයි? එහෙනම් මේ අපරාධ පිටුපස ආණ්ඩුවට සම්බන්ධ කවුරුන් හෝ සිටියාද?

මේ පරීක්ෂණ කරපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තැන් තැන්වලට මාරු කරලා දැම්මා. ශානි අබේසේකර මාරු කළා විතරක් නෙමෙයි, ඔහුගේ ආර්කෂාව පැත්තකට දාලා. මහින්ද රාජපක්ෂම ඔහුට භාරදුන් වාස් ගුණවර්ධන සිද්ධිය සම්බන්ධයෙන් බොරු සාක්ෂි හදලා මාස ගණනාවක් හිරෝ තියාගෙන හිටියා.

අද ශානි අබේසේකරගේ ජීවිතය බරපතල තර්ජනයට මුහුණදීලා. අපරාධ සම්බන්බධයෙන් වැරදිරකරුවන් වූ හතලිස් අට දෙනෙක්ට මරණ දඩුවම ලබාදුන් ශානි අබේසේකරගේ ආරක්ෂාව ඉවත් කරලා. ඔහුගේ අතේ තිබුණ ආයුදයවත් නෑ.  බුද්ධි අංශ වාර්තාව අනුව තමයි ඔහුට ආරක්ෂාව ලබාදුන්නේ. බුද්ධි වාර්තා පැත්තකට දාලා ශානි අබේසේකරගේ ආරක්ෂාව සම්පුර්ණයෙන්ම ඉවත් කළා.

මේවා  කරන්න ආණ්ඩුව යොදා ගත්තේ රණවිරු දඩයම කියන එකයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පරීක්ෂණ කරන විට ඔවුන්ගෙන් පලිගන්න එකවැරදියි. මේ නිලධාරීන් මෙහෙයුවූ පරීක්ෂණ අනුව යම් යම් පුද්ගලයින් වැරදිකරුවන් බවට පත්වීමට නියමිතව තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් පලි ගන්න එක වැරදියි.

මානව හිමිකම් කවුන්සිලයේදී යෝජනා ඉදිරිපත් වෙනතුරු බලාගෙන ඉන්නේ නැතිව මෙම නිලධාරීන් කරගෙන ගිය පරීක්ෂණ ඉදිරියට කරගෙන යන්න. විමර්ෂණ නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න කියලා ඉල්ලා සිටිනවා.

Social Sharing
නවතම