තිස්ස වැවේ කැනීම් කරන්නේ චීන හමුදාව නෙමේද?

හම්බන්තොට, තිස්සමහාරාම වැවේ හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් ඇඳගත් විදේශිකයින් පිරිසක් කැනීම් කරන ඡායාරූප පහුගිය දිනවල අන්තර්ජාලයේ දැකිය හැකි විය. මේ කවුද? මොනවද කරන්නේ ? කියා පැන අසමින් දමා තිබු එම ඡායාරූප සම්බන්ධව මෙරට විවිධ මත පළ වන්නට විය.

මෙම පිරිස විශේෂයෙන්ම වැවේ බිසෝ ‌කොටුව අසල හෑරීම සිදු කර තිබු අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ කැනීම් පිලිබඳ ඔවුන් දැනුවත්ව නොසිටි බවකි.

මේ පිලිබඳ ඊයේ (29) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද මාධ්‍යවේදියෙකු විසින් මතු කර තිබුණි. එහිදී කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ වැව ප්‍රතිසංස්කරණයේ දී පුරාවිද්‍යා පනත හෝ අනපනතක් උල්ලංගණය වී ඇතිදැයි සොයාබැලීමට සම්පූර්ණ පරීක්ෂණයක් සිදුකර ඇති බවය.

එසේම ඔහු සඳහන් කර සිටියේ මෙලෙස පනත් උල්ලංගණය වීමක් සිදුව ඇත්නම් රටතුළ ඇති බහු ජාතික සමාගම් ආදී කණ්ඩායම් විසින් ඒ පිළිබදව හඩනගනු ඇති බවද, මෙලෙස පනතක් උල්ලංගණය වී ඇතිදැයි සම්පූර්ණ පරීක්ෂණයක් අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව සහ හමුදාව විසින් සිදුකර ඇති බවය.

කඩාවැටී ඇති ඇතැම් කණ්ඩායම් විවිධ අර්ථකතනයන් නිර්මාණය කරමින් ඇතැම් දේ සොයාගැනීමට උත්සාහ කරන බව පවසමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ අනපනත් අමු අමුවේ උල්ලංගණය කර ඇති නම් අනපනත් උල්ලංගණය කරන සියලු පිරිස් පැය 24ක් තුළ අත්අඩංගුවට ගෙන උසාවියට යොමු කරන බව මෙන්ම රජයක් වශයෙන් ගෙන ඇති තීන්දු තීර්ණ අනූව අදාළ ආයතන විසින් පර්යේෂණ සිදුකර අදාළ වාර්තා ලබාගෙන ඇති බවය.

මේ අතර මෙම වැවේ කැනීම් සම්බන්ධව ඊයේ (29) දින ආරක්ෂක ලෙක්ම්වරයාද නිවේදනයක් නිකුත් කර සිටියේය.

ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා පවසන ආකාරයට තිස්සමහාරාමය තිස්ස වැවේ රොන්මඩ ඉවත් කිරීම සඳහා දැනට සිදුකරමින් පවතින ව්‍යාපෘතියට අදාළ පෞද්ගලික සමාගමට අයත් චීන ජාතික සේවකයින් ඇඳසිටි ඇඳුම අදාල විදේශ සමාගමේ සේවකයින් අඳින ඇඳුමක් වන බවය.

ඔවුන් මහජන චීන විමුක්ති හමුදාවට අයත් නොවන අයවලුන් බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා විසින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයෙන් විමසා සනාථ කර ගත් බවද ආක්ෂක අමාත්‍යාංශය කියා සිටියි.

එහිදී ඉදිරියේදී එවැනි ඇඳුම් ඇඳීමෙන් වළකින ලෙස අදාල ආයතනය දැනුවත් කරන ලෙස ආරක්ෂක ලේකම්වරයා විසින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය වෙත දැනුම් දී ඇති අතර ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙවැනි තත්වයන් මින් ඉදිරියට නැවත ඇතිවීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස අදාල දේශීය පෞද්ගලික ආයතනයද දැනුවත් කර ඇත.

තවද, එවැනි ඕනෑම උත්සාහයක් වැළැක්වීමට කටයුතු කරන ලෙස ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) විසින් දකුණු පලාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෙත උපදෙස් ලබා දුන් බවද ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

-ශානි-

Social Sharing
නවතම