සැකකරුවන්ට වැඩිම වදහිංසනය වන්නේ පොලිසිය තුල රඳවා ගන්නා කාලය තුල – නීතිඥ අථිල අතාවුද

පොලිස් නිලධාරීන් සැමවිටම කටයුතු කරන්නේ ඔවුන්ගේ රාජකාරිය පිලිබඳ අධිතක්සේරුවකින් බවත් ඒ නිසාම ඔවුන් විවිධ උපකල්පන මත පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බව නීතිඥ අථිල අතාවුද මහතා පවසයි.

පොලිසීය අත්අඩංගුවට ගන්නා පුද්ගලයෙකු පැය 24 ක් තුල මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කළ යුතු හෙයින් මේ පොලිසිය තුල රඳවා ගන්නා කාලය සැකකරුවන් වැඩි ලෙසම හිංසනයට පත් වෙන බව හෙතෙම කියා සිටියි.

යම් උපකල්පන මත අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ගෙන් පොලිස් කට උත්තරය ලබා ගැනීමේදීද පොලිසීය උත්සහ කරන්නේ ඒ උපකල්පනය තහවුරු වන ආකාරයෙන් බවත් ඒ නිසා ඔවුන්ගේ සැකය තහවුරු කර ගන්න ඔවුන් විවිධ උපක්‍රම භාවිතා කරන බවද ඔහු පවසයි.

අපි උඹට දාන චෝදනා අඩුවෙන් දමන්නම්, පොඩි නඩුවක් දාන්නම් ආදී ලෙස ඒ සඳහා විවිධ පොරොන්දු ලබා දෙමින් නිලධාරීන්ට අවැසි පරිදි කට උත්තරය ලබා ගැනීමට උත්සහ කරන බවත් එය ව්‍යාර්ථ වුවහොත් වදහිංසා කිරීමට පෙළඹෙන බවද ඒ මහතා පෙන්වා දෙයි.

මිනීමැරුමකදී වැනි සිද්ධියකදී පොලිස් ස්ථානාධිපතිවරයා මැදිහත් වෙන හෙයින් එම සැකකරුවන්ට වැඩි වදහිංසාවකට ඉඩක් නොමැති බවත් නමුත් අපරාධ විමර්ශන ඒකකය ආදී මඟින් ගන්නා සැකකරුවන්ට වදහිංසාව වැඩි වශයෙන් සිදුවන බව ද අථීල අතාවුද මහතා පවසයි.

එසේම සැකකරුවෙකු නීතිඥවරයෙකු සමඟ පොලිස් ස්ථානයට යන අවස්ථාවක බොහෝ විට පොලිසිය අදාල නීතිඥවරයා කඩිනමින් පිටත් කර හැරීමට විධානයක ස්වරූපයෙන් දැන් යන්න කියා පවසන බවත් එසේ එම නීතිඥවරුන්ව පිටත් කර හරින්නේ පොලිසියට උවමනා පරිදි ඒ සැකකරුවන්ට අඩත්තේට්ටම් කිරිමට බවද ඔහු වැඩිදුරටත් කියා සිටියි.

ඔහු මේ බව කියා සිටියේ උසස් පෙළ අහිමි කළ ගොකරැල්ල පොලිසිය යන මැයෙන් සුම් තාක්ෂය ඔස්සේ පැවති සාකච්ඡාවකදීය. රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ කුරුනෑගල දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සම්බන්ධිකාරක ඥානවීර දිසානායක මහතා විසින් සංවිධානය කර තිබු මෙම සංවාදයේදී ජාතික පොලිස් කොමිෂන් සභාවේ මාධ්‍ය සම්බන්ධිකාරක පි.ඩි.ලියනාරච්චි, ගොකරැල්ල පොලිසිය මඟින් වදහිංසාවට පත් වූ කංචන ප්‍රගීත්, ඔහුගේ මව යමුනා කුමාරි හා රයිට් ටු ලයිෆ් ආයතනයේ විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානායක මහතාද අදහස් දක්වනු ලැබුණි.

-ශානි-

Social Sharing
නවතම