වදහිංසනයට ලක් වූ මාධ්‍යවේදීන්ට සාධාරණය කෝ ? –  මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන

වදහිංසනයට ලක් වු මාධ්‍යවේදීන්ට තවමත් සාධාරණයක් ඉටු වී නොමැති බවත් පෝද්දල ජයන්තට පහර දුන් අය තවමත් නිදැල්ලේ බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු ලේකම්, මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා පවසයි.

මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්  වලට අමතරව පහුගිය කාලේ වදහිංසනයට ලක් වු පෝද්දල ජයන්ත, කීත් නොයාර්, උපාලි තෙන්නකෝන්,  වැනි මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් තවමත් නීතිය ඉටු නොවීම කණගාටුවට කරුණක් බව ඔහු කියා සිටියි.

මාධ්‍යවේදී කීත් නොයාර් සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිහිප දෙනෙකු ඒ අවස්ථාවේ අත්අඩංගුවට ගත්තද පසුව ඔවුන් මුදා හැරුනු බවත් තවමත් නඩුව අවසානයක් නොමැති බවද පෙන්වා දෙන ඔහු පවසන්නේ පෝද්දල ජයන්තගේ සිද්ධිය සම්බන්ධයෙන්ද සැකකරුවන් තවමත් නිදැල්ලේ පසුවන බවත් ඔහුට පහර  දීමේ සිද්ධිය යටපත් කිරීමට උත්සහ කළ පොලිස් නිලධාරීන් පවා නිදැල්ලේ සිටින බවත් නමුත් මේ සම්බන්ධව පරීක්ෂණ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නම් ස්ථාන මාරු ලබා දී ඇති බවය.

එසේම පහුගිය කාලයේ නාවික හමුදාපතිවරයෙකුගේ පහර කෑමකට මාධ්‍යවේදියෙකු ලක් වුවද ඒ අවස්ථාවේද අදාල නාවික හමුදාපතිවරයා ආරක්ෂා කිරිමට එවකට සිටි අගමැතිවරයා හා ජනාධිපතිවරයා පියවර ගත් බවද ඔහු සිහිපත් කර සිටියි.

ඒ නිසා මේ වදහිංසාවන් කිසිදු දිනෙක කිසිවෙකු සාධාරණීකරනය නොකළ යුතු බවත් අද ඔහුට සිදු වු දේ හෙට ඔබට සිදු විය හැකි බැවින් වදහිංසාව පිටුදැකීමට කටයුතු කරන ලෙසද ඔහු මහජනතාවට දන්වා සිටියි.

-ශානි-

Social Sharing
නවතම