ඇමති ආරක්ෂකයාගේ ගිනි අවියට ටිපර් රථ රියදුරෙකු බිලි!

රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතාගේ මඩකළපුව, සින්නිවුර්නි ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිටදී  ඊයේ (21) දින පොලිස් කොස්තාපල්වරයෙකු විසින් වැලි ටිපර් රථ රියදුරෙකුට වෙඩි තබා ඝාතනය කර ඇත.

මෙසේ වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ සින්නිවුර්නි, බාබාර් පාර ප්‍රදේශයේ පදිංචි මහාලිංගම් බාලසුන්දරම් (35) නැමැති වැලි ටිපර් රථ රියදුරෙකි.

රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල් පෙරිම්බරාජා ලිංග්ගේෂ්වරම් නැමැත්තා පහුගිය දිනෙක මෙම වැලි ටිපර් රථ රියදුරු සමඟ බහින් බස් වීමක් සිදු ඇත.

ඊට පළිගැනීමක් ලෙස ඔහු ඊයේ ත්‍රිරෝද රථයකින් රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිටින් යන අවස්ථාවේ පොලිස් කොස්තාපල්වරයා වෙඩි තබා ඇත.

වෙඩි තැබීමට යොදා ගත් මොඩල් 34 වර්ගයේ පිස්තෝලය සමඟින් පොලිස් කොස්තාපල්වරයාව මඩකලපුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එසේම මේ පිලිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

-ශානි-

Social Sharing
නවතම