C 190 සම්මුතිය අහිමි ලංකාවේ ශ්‍රමිකයෝ

වැඩ කරන ලෝකයේ කාන්තාවන්ට සහ පිරිමින්ට එරෙහි හිංසනය සහ හිංසනය අවසන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) සම්මුතිය සහ නිර්දේශය ජාත්‍යන්තර කම්කරු සමුළුවේදී සම්මත වුයේ 2019 ජුනි 21 වන දිනය. ඒ  ජිනීවා නුවරදීය.

වසර දෙකක් ගත වුවද නමුත් අපේ රටේ තවමත් මේ සම්මුතිය සම්මත වී නැත. මේ සම්මුතිය බාලගිරි දෝශයට හසු වූවාක් මෙන් තවමත් අතරමඟ රැඳී ඇත.

වැඩබිමේ සිදුවන හිංසනය හා ප්‍රචණ්ඩත්වය සම්පුර්ණයෙන්ම ඉවත් කිරීම සම්බන්ධයෙන් පවතින C 190 සම්මුතිය ගැන මේ වන විට මෙරට වෘත්තීය සමිති රැසක් දැනුවත් වී සිටිති. නමුත්  ඔවුන්ට තවමත් මේ සම්මුතිය ලංකාවේ සම්මත කර ගැනීමට නොහැකි වී ඇත.

කොවිඩ් වසංගතය ආවේ මේ සම්මුතිය සම්මත කර ගැනීම පිලිබඳ විවිධ සාකච්ඡා පවත්වමින් තිබු අවස්ථාවකය. කොවිඩ් වසංගතයත් සමඟ මේ වැඩ බිමේ ජනතාව අන් කෙදිනකටවත් වඩා විවිධ හිංසනයන්ට, ප්‍රචණ්ඩත්වයට ලක් විය. තවමත් ලක් වෙමින් ඇත.

අපට C 190 සම්මමුතිය සම්මත කර තිබුණා නම් මෙලෙස ඔවුන් හිරිහැරයට පත් වීම වලක්වාලිය හැකිව තිබුණි.

නමුත් මේ වන විට C 190 සම්මුතිය කැබිනට් පත්‍රිකාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. ඒ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල මහතා විසිනි. මෙමC 190 සම්මුතියේ අන්තර්ගත සියලු කරුණු ලංකාවට ගැලපෙන්නේ නැති හෙයින් ඒවා ලංකාවට ගැලපෙන ලෙස සකස් කිරීමට අමාත්‍යවරයා විසින් මේ සම්බන්ධව වැඩ කරන වෘත්තිය සමිති වෙත දන්වා ඇත.

එමෙන්ම මේ පිලිබඳ සොයා බැලීමට පාර්ලිමේන්තුවේ විශේෂ කමිටුවක් පත් කළ යුතුව ඇති අතර ඊට මේ කොවිඩ් වසංගතය බාධා වී ඇති බව කම්කරු අමාත්‍යාංශය සඳහන් කර සිටියි. විශේෂයෙන්ම මේ කමිටුවට කාන්තා නියෝජනයක් සහිත විය යුතු බව මේ වන විටත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයට දන්වා ඇත.

මෙම වසංගත තත්ත්වය පහව ගොස් පාර්ලිමේන්තු පටන් ගත් විට සංශෝධනය කෙරුණු C 190 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කමිටුවක් පත් කර ගරනීමේ හැකියාව ඇතැයිද කම්කරු අමාත්‍යාංශය විසින් වැඩිදුරටත් සඳහන් කර සිටියි.

-ශානි-

Social Sharing
නවතම