සහල් වෙළඳපල පාළනය කිරීමේ ගැසට් 7 ම පුස්සක්! – එක්සත් සහල් නිෂ්පාදිතයින්ගේ සංගමය

සහල් වෙළඳපල පාළනය කිරීම සදහා රජය මෙතෙක් දරපු උත්සාහයන් හා ගැසට් නිවේදන 7 ම පුස්සක් බවත් යල කන්නයේ වී ටික වෙළදපළට පැමිණෙන්නට ඔන්න මෙන්න කියා තිබිය දී යල කන්නයේ වී අස්වැන්න තුට්ටු දෙකට මහ මෝල්ලුන්ගේ ගබඩාවලට ලබාදීමේ කුමන්ත්‍රණයක් බවත් එක්සත් සහල් නිෂ්පාදිතයින්ගේ සංගමයේ සභාපති කුසුමිත මුදිත් පෙරේරා මහතා චෝදනා කරයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (22) පොලොන්නරුවේ දී මාධ්‍ය හමුවක් කැදවමින් හෙතෙම මෙම චෝදනාව එල්ල කළේ ය.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ මුදිත් පෙරේරා මහතා මෙසේ ද කීය.

“ඊයේ අපි දකිනවා නිවේදනයක් වෙළද අමාත්‍යංශය වෙනුවෙන් ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙන්වීම සදහා මිලගණන් කැදවලා තියෙනවා. මෙහි සදහන් වෙනවා මෙම සහල් තොගය ආනයනය කරලා වේයන්ගොඩ ගබඩාවේ ආරක්ෂිත සහල් තොගයක් ලෙස ගබඩා කර තබා ගන්නයි යන්නේ. ඇයි මේ සහල් තොග ගෙන්වන්නේ.මේ එලි දකින්නේ රජය සහල්වලට ගහපු ගැසට් නිවේදන හා වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල පාස් ද ෆේල් ද කියන එක තමයි මේ අභිලාෂ කැදවීමේ ලේඛනයෙන් පේන්නේ. රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙලත් රජය සහල්වලට ගහපු ගැසට්වල සාර්ථක අසාර්ථක බවත් නොවෙයි ද? දැන් හිටි හැටියේ ඇයි මේ සහල් ගෙන්වන්නේ?

පසුගිය කන්නයේ රටේ වී අස්වැන්න ඉලක්ක ගත අස්වැන්න සම්පූර්ණයෙන් ම ලැබුණා. යල කන්නයේ අස්වැන්නත් දැන් බලාපොරොත්තු වූ අස්වැන්න ලැබෙමින් පවතිනවා. පොහොර පිළිබද ප්‍රශ්නය යම් තරමකට බලපෑවත් දැන් උතුරේ අස්වනු නෙලීම ආරම්භ කරලා රටට අවශ්‍ය සහල් නිෂ්පාදනය ලබන මාර්තු වෙන තෙක් ප්‍රමාණවත් පරිදි රට තුළ පවතිවා.

ආහාර දෙපාර්තමේන්තුව මේ පොන්නි සම්බා ගෙන්වන්න තීරණය කළේ රටේ සහල් මිල පාළනය කිරීම සදහා කියලා කියනවා. වෙළදපල පාලනය පිළිබදව ගහපු ගැසට් නිවේදන රජයේ වී මිලදී ගැනීම් කියන වැඩසටහන් සමාලෝචනය කරන්නේ නැතුව මේ දරන උත්සාහය පළ රහිතයි කියලා තමයි අපි සහල් නිෂ්පාදකයින් විදිහට කියන්නේ. ගහපු ගැසට් නිවේදන 7 ටම අත් වෙච්ච ඉරණම ම තමයි මේ ගෙන්වන සහල් තොගයටත් වෙන්නේ. මේ තුළ තවත් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා.

දැන් උතුරේත් නැගෙනහිරත් වී අස්වනු නෙලීම ආරම්භ වෙලා තියෙන්නේ.එහෙම තියෙද්දිම මේ ඉන්දියාවෙන් පොන්නි සම්බා ගේන්නේ ඇයි. ගොවියෝ බය වෙනවා අන්න පොන්නි එනවා වී මිල බහියි. කියලා හිතලා තුට්ටු දෙකට අර මහා මෝල්ලු සෙට් එකට වී ටික ඩැහැගන්න කුමන්ත්‍රණයක් තමයි මේ සිද්ධ වෙන්නේ .මේ වෙලාවේ මේ පිටරටින් හාල් ගෙන්නවන ටෙන්ඩර් එක දාලා යල කන්නයේ වී ටික තුට්ටු දෙකට මහ මෝල්ලුන්ගේ ගබඩාවලට දාන්න  තමයි මේ වැඩේ කරන්නේ. ඊළගට මේ දවස්වල ලොකුම කතාබහ තමයි රසායනික පොහොර දාන්න එපා පිළිකා ඇතිවෙනවා වකුගඩු රෝග ඇති වෙනවා කියලා. ඒකේ සත්‍යතාවක් ඇති. මේ ගේන හාල් කාබනික ද? මේ ටෙන්ඩර් පත්‍රිකාවේ ආහාර කොමසාරිස්තුමිය සදහන් කරනවා 9 වෙනි කරුණ විදිහට අදාළ ඉල්ලුම්කරුවන්  අදාළ සහල්වල ප්‍රමිතිය, රට, වර්ගය ආදිය ටෙන්ඩර් කරු විසින් ඉදිරිපත් කරන්න ඕන කියලා. ඒ කියන්නේ රජය මේ ගෙන්වන සහල්වල ප්‍රමිතිය ගැන කිසි දෙයක් සදහන් කරන්නේ නෑ.අඩුම තරමේ කැඩුණු සහල් ප්‍රතිශතයවත් දක්වන්නේ නෑ.ඕන එකක් ගේන්න එහි ප්‍රමිතිය අපට කියන්න කියලා මේ කියන්නේ.මේ හාල්වල බැරලෝහ කොපමණ ද විෂ රසායන මොනාද කිසි දු සදහනක් නෑ.ඒක ටෙන්ඩර්කරුට කියනවා ඔයා කියන්න කියලා. අවසාන වශයෙන් මේ රටට සහල් ආනයනය කළේ 2017 වසරේ. අන්තිමට ආනයනය කළ සහල්වල ඉන්දියාවෙන් ආව හාල්වල දින  බැලුවාම 2017 ඉදලා 2019 දක්වා කල් තියා ගන්න පුළුවන් කියලා තියෙනවා. එච්චර කාලයක් සහල් කල් තියාගන්න පුලුවන් ද? මෙච්චර කල් තියා ගන්න ගුප්ත දේවල් මොනාහරි අරනවාද  කෘමි හානි එන්නේ නැද්ද? සාමාන්‍ය කැකුලු හාල් එකක් වුණත් තැම්බූ එකක් වුණත් මාස එකහමාරත් හයත් අතර කෘමි හානි එන එක වලක්වන්න බෑ. ඇයි මේ ඉන්දියාවෙන් එන හාල් එකට අවුරුදු දෙකක්. මේවාට අධික විදිහට පසු අස්වනු කල් තබාගන්න යොදන වස විස තමයි කෘෂී රසායන නිසා තමයි මෙහෙම තියාගන්න පුළුවන්.

දැන් මෙහෙ කෘෂි රසායන ලංකාව ඇතුලේ වගා කරන කොට වසවිස දාන්න එපාලු වකුගඩු රෝග පිළිකා එනවලු. දැන් මේ හාල්වලින් එහෙම වෙන්නේ නැද්ද? ඔය කියන කෘෂීකර්ම ඇමති ඇතුළු රජයේ වගකිව යුතු අංශ මේ දෙවිදිහකට සලකන්නේ ඇයි? දැන් කෘෂීකර්ම ඇමති කියනවා කාබනික වී වගාව නිසා  වී අස්වනු අඩු වුනොත් ඒ වෙනුවෙන් ගොවියට වන්දියක් ගෙවනවාලු. පාරිභෝගිකයටත් සහල් ආනයනය කරලා කන්න දෙනවා කියනවා. දැන් අපි අහනවා ඒ හැමෝටම සහන දෙනවා නම් සුලු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට මොකද වෙන්නේ.අපේ මෝල්වල මොනාද අඹරන්නේ. ඒ නිසා අපේ අයිතිවාසිකම්වෙනුවෙන් මොකද්ද කරන්නේ. සුලු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියාට මොකද වෙන්නේ.

දැන් තියෙන වෙළඳපොල තුළ සහල් ආනයනය හරහාත් කාබනික පොහොර හරහාත් සිදු වෙන්නේ මහා පරිමාණ මෝල්ලුන්ගේ වෙළදපොල සියයට 70ක් දක්වා වැඩි කරන්නයි. වෙළදනාම හදාගෙන ඉන්න මහා පරිමාණ හාල් මෝල් හිමියන් අපේ පංගුව අල්ලා ගැනීමේ කුමන්ත්‍රණයක් මේ තුළ සිදු වෙනවා. දැන් මේ ආරක්ෂිත සහල් තොග ගෙන්වන්නේ ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව. දැන් පසුගිය 2020 හා 2021 වසරේත් දේශීය වෙළද පොලෙන් සහල් මිලට ගෙන ආරක්ෂිත සහල් තොගයක් පවත්වා ගන්නවා කියලා කැබිනට් සන්දේශයක් හරහා මුදල් ලබා ගෙන තිබෙනවා. ඒ සන්දේශයේ බොහොම පැහැදිලිව තියෙනවා භාණ්ඩාගාරයෙන් ලැබෙන මුදල් භාවිත කර වී මිලදී ගෙන සහල් බවට පත් කර විකිණීම සදහා සතොස ආයතනය වෙත හෝ ආරක්ෂිත සහල් තොගයක් ලෙස රදවා ගැනීමට හෝ කටයුතු කරනවා කියලා.

මේ සහල් ආනයනය කරන්න අභිලාෂ දැන්වීම් පලකරන ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව ම ගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ මහා භාණ්ඩාගාරයෙන් මුදල් ගත්තා දේශීයව සහල් මිලට ගෙන ආරක්ෂිත තොගයක් වේයන්ගොඩ ගබඩාවේ පවත්වාගෙන යනවා කියලා.ඒ තොගය අද වෙනතෙක් ලංකා සතොස ආයතනයට ගිහිල්ලාත් නෑ.වේයන්ගොඩ ගබඩාවට ගිහිල්ලත් නෑ.අපි මේ පිළිබදව අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.අපි බන්දුල ගුණවර්ධන ඇමතිතුමාගෙන් අහනවා මේ දූෂිත නිලධාරින් ට ම රටින් ගේන හාල් ටිකත් දීලා කොමිස් ගහන්නේ නැතිවෙයි කියලා දෙන්න පුලුවන් සහතිකය මොකද්ද කියලා අහන්න කැමතියි.  ” යැයි ද ඒ මහතා කීය.

ඊෂා මුදියන්සේ -පොලොන්නරුව

Social Sharing
නවතම