දැන් සැපද? යන්න විමසීම පොලිස් අත්අඩංගුවට පත් වීමට තරම් දෙයක්ද?

කොවිඩ් වසංගතය හමුවේ ඉන්ධන මිල ඉහළ දැමීම  රටේ ජනතාවට දරාගත නොහැකි ත්ත්වයක් බව මේ රටේ හැමෝම දන්නා කරුණකි.

මේ ඉන්ධන මිල නිසා දැන් ආණ්ඩුව ඇතුලේද පවතින්නේ සීතල ගැටුමකි. විපක්ෂය නම් සෘජුවම කියා සිටින්නේ තෙල් මිල පහත පහත හෙලන ලෙසටය. මෙරට වෘත්තීය සමිති රැසක්ද ඉල්ලා සිටින්නේ තෙල් මිල පහත හෙලන ලෙසටය.

තෙල් මිල ඉහළ යාම නිසා මෙරට අත්‍යවශ ආහාර ද්‍රව්‍ය රැසකද මිල මේ වන විට ඉහළ යමින් ඇත. කොරෝනා වසංගතයෙන් හෙම්බත් වී සිටින ජනතාවට මෙය දරාගත නොහැකිය.

තෙල් මිල ඉහළ දැමීමට විරෝධය පා විවිධ පාර්ශව විසින් විරෝධතා රැසක් පහුගිය දිනවල නිහඬව පැවතුණි. මේ අතර පෙරේදා (19) දහවල් සමගි ජනබලවේගයේ තරුණ බල මණ්ඩලයේ ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුලු සිව් දෙනෙකු තෙල් මිල ඉහල දැමීමට විරෝධය පල කරන දැන්වීම් ප්‍රදර්ශණනය කරමින් බක්කි කරත්තයක නැගි මාගාල්ලේ පාලම අසල  සිට ගාල්ල නගරයට පැමිණ තිබුණි.

මොවුන්ගේ දැන්වීම් වල ප්‍රදර්ශනය කර තිබුණේ දැන් සැපද? යන්නය. කෙසේ නුමුදු රජයට විරෝධය පල කරන දැන්වීම් එල්ලාගෙන, සංචරණ සිමා උල්ලංඝණය කිරීමේ චෝදනාව යටතේ ජංගම මුර සංචාරක පොලිස් නිලධාරීන් විසින් ඊයේ මොවුන් සිව් දෙනා අත් අඩංගුවට ගෙන ඇත.

මොවුන් තලාපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් බක්කිය කුලියට ගෙන මෙලෙස ගාලු නගරයට පැමිණ තිබේ. පොලිස් අත්අඩංගුවට ගැණුනු ඔවුන් පසුව පොලිස් ඇප මත මුදාහැර තිබුණි.

මෙලෙස මෙම පිරිස අත්අඩංගුවට පත් වූයේ දැන් සැපද කියා සටහන් කළ පුවරුව නිසා ද යන්න මහජනතාවට සැකයක් මතු වී ඇත. ඒ මීට පෙර ද මොරටුව නගරාධිපතිවරයාට දුරකථණ ඇමතුමක් ලබා දී දැන් සැපද කියා විමසු පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගත් බැවිනි.

මේ අතර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේද විවිධ අදහස් පළකරන පිරිස් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් දැන් ඇත. මේවා ජනතාවගේ භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය නීදහස සීමා කරවන්නකි. බිය ගැන්වීමකි. ප්‍රජාතන්ත්‍රවාදී රටක නම් ජනතාවට මෙලෙස භාෂණයේ, ප්‍රකාශනයේ නිදහස අහිමි කරමින් මුඛවාඩම් දමන්නේ නැත.

-ශානි-

Social Sharing
නවතම