GSP+ සහනය නැති වුනොත් මොකද වෙන්නේ? හිටපු අගමැති කථා කරයි.

GSP+ සහනය අහිමිවී ගියහොත් රුපියලේ වටිනාකම බාල්දු වී අමෙරිකානු ඩොලරයේ වටිනාකම සඳහා රුපියල් 300 ක් ගෙවීමට සිදුවනු ඇති බවත් රැකියා දහස් ගණනක් අහිමි විය හැකි බවත්  හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

යුරෝපා සංගමයෙන් GSP+ බදු සහනය 2017 දී ලබාගෙන මෙරට ආර්ථිකය වර්ධනය කිරීමට යහපාලන ආණ්ඩුව කටයුතු කළ අතර එහිදී බදු අය කිරීමකින් තොරව යුරෝපයට භාණ්ඩ යැවීමට ලැබුණු අවසරය නිසා ඇගළුම් කර්මාන්තයෙත්, ධීවර කර්මාන්තයෙත් ලොකු දියුණුවක් ඇති වු බව ඒ මහතා සිහිපත් කර සිටියි.

ලංකාවට ලැබුණු මෙම GSP+ බදු සහනය ගැන යුරෝපා පාර්ලිමේන්තුව තුළ අද ප්‍රශ්නයක් මතු වෙලා තිබෙන බවත් මෙම සහනය නැති වෙනු ඇතැයි අපට අවවාද කර ඇති බවත් පවසන රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙන්නේ කොවිඩ් වසංගතය හේතුවෙන් මෙරට සංචාරක ව්‍යාපාරය මේ අවස්ථාවේ අවදානමකට ලක් වී තිබෙන බවත්  නෞකාවේ ප්‍රශ්නයත් සමඟ අපේ ධීවර කර්මාන්තයටත් ගැටළු මතු වී ඇති බවත් එමෙන්ම  විදේශ රැකියාවලට යන අය අඩු වීමෙන් අපේ විදේශ විනිමය පහත වැටි ඇති බවය.

විදේශ විනිමය අඩුවීමත් සමග ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාව බංගලාදේශයෙන් ඩොලර් මිලියන 200 ක ණයක් ගත් අතර  මේ වන විට මෙරට ආර්ථිකයට විදේශ විනිමය ගෙන ඒම වෙනුවෙන් ඉතිරිව ඇත්තේ තේ කර්මාන්තය හා ඇගළුම් කර්මාන්තය පමණක් බවද ඔහු කියා සිටියි.

එවැනි අවස්ථාවක අපට GSP+ බදු සහනයත් අහිමි වුනොත් රුපියලේ වටිනාකම බාල්දු වෙලා ඩොලරයකට අපට රුපියල් 300 ක පමණ මුදලක් ගෙවන්න සිදු විය හැකි බවට ඒ මහතා අනතුරු අඟවා සිටියි.

මතුව ඇති අවදානම හමුවේ තවදුරටත් දේශපාලනය නොකර GSP+ සහනය ආරක්ෂා කරන්න වහාම රජය කටයුතු කළ යුතු බවත් ජනතාව දරා සිටින දැඩි ආර්ථික බරට තවත් බර එකතු නොකර  ලෙසත් රට විනාශ කරන්න එපා කියාත් ඔහු වැඩිදුරටත් රජයෙන් ඉල්ලා සිටියි.

-ශානි-

Social Sharing
නවතම