ලියොන් ත්‍රොස්කි න්‍යාය හා කොරෝනාව! – නීතිඥ ලාල් විජේනායක

ලියොන් ත්‍රොස්කි එදා පැවසු දේ අද කොරෝනාව ඔප්පු කර ඇති බව නීතිඥ ලාල් විජේනායක මහතා පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ නිවේදනයක් නිකුත් කරමිනි. එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

කොවිඩ් එන්නත ගොඩ ගසාගෙන සිටීම වැඩක් නැත. එක රටක පමණක් කොවිඩ් වසංගතය තුරන් කළ නොහැක.  ‘මුළු ලෝකයම එයින් මුදාගත යුතුව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය තුලින් ප්‍රකාශ වී ඇත’ පරම සත්‍යයකි.

කොරෝනා උවදුරික් එක් රටකට පමණක් විමුක්තියක් ලබා ගත නොහැකි අතර  මනුෂ්‍ය වර්ගයාගේ ගැලවීම සඳහා එය මුලු ලොවින්ම තුරන් කළ යුතුව ඇත.

එක්දහස් නවසිය විසි ගණන් වලදී ලියෝන් ත්‍රොස්කි ලෝක ආර්ථිකය පිළිබඳව ප්‍රකාශ කළේ මෙයම නොවේද?  ඔහු කියා සිටියේ එක් රටක සමාජවාදය ඇති කර ජනතාවට විමුක්තිය ළඟා කරගත නොහැකි බවත් මිනිසා සූරා කෑමෙන් ගලවාගෙන විමුක්තිය කරා ළඟා විය  හැක්කේ මුඵ’ ලොවම සූරා කෑමෙන් ගලවා ගැනීමෙන් පමණක් බවය.

ත්‍රොස්කි ප්‍රකාශ කළේ ආර්ථික හා සමාජ විමුක්තිය  ගැනය. අද කොරෝනාව මෙම දෘෂ්ඨිය ඔප්පු කර ඇත.  මනුෂ්‍යයා  විමුක්තිය ළඟා කර ගැනීමටනම් මෙම පරම සත්‍යය වටහාගත යුතු කාලය එළඹ ඇත. අද දියුණුයැයි ප්‍රකට ලොකයේ දරුවන් මෙන්ම වැඩිහිටියන්ද ගත කරන්නා වූ ජීවිතය හා ආර්ථික වශයෙන් දුර්වල ආසියාවේ ලතින් ඇමෙරිකාවේ හා අප්‍රිකාවේ රටවල්වල දරුවන් කුසගින්නෙන් මිරිකී ඇටසැකිලි බවට පත් වී මිය යන ආකාරය ප්‍රදර්ශනය වීමෙන් එය ඔප්පුකර තිබේ.

මෙම විෂම ලෝකය වෙනස් කිරීම පිළිබඳව යම් අවබෝධයක් ඇති කිරීමේ කාලය එළැඹ ඇත. ලෝකය දෙස නව මනසකින් බැලිය යුතු අතර අද අවශ්‍ය වී ඇත්තේ ජාති, වර්ණ,  ආගම් හෝ ප්‍රාදේශික භේද වලින් තොර මනුෂ්‍ය අභිමානය ගරු කරන එක් ලෝකයක් ගොඩ නැගීමය. බෞද්ධ, ක්‍රිස්තියානි, ඉස්ලාම් හා වෙනත් ආගමික නායකයින් මෙන්ම ත්‍රොස්කි ද ප්‍රකාශ කළ දෙය ඔවුන්ට ඔප්පු කර පෙන්විය නොහැකි වූ දෙය කොරෝනාවෙන් ඔප්පු කර පෙන්වා ඇත. අද මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම සඳහා අවශ්‍ය වී ඇත්තේ ජාති, ආගම් භේද වලින් තොර එක් ලොවක් බව කොරෝනාව ඔප්පුකර පෙන්වා ඇත.

Social Sharing
නවතම