රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට එන්නේ සමගි ජන බලවේගයේ 10 ක් සමගයි. – මහින්දානන්ද කියයි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙවර පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙකු සිය පක්ෂයට එකතු කොට ගෙන යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු ඒ වෙනුවෙන් ගිවිසුම්ගත වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි මහනුවර දී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව කීවේය.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාට යළි රෝහල්ගතවීමට සිදුවන බව ද අමාත්‍යවරයා සදහන් කළේය.

මෙවර යල කන්නයේදී ගොවියන් වෙත ප්‍රමාණවත් පරිදි පොහොර සැපයීම කර ඇතැයි කී අමාත්‍යවරයා, රසායනික පොහොර භාවිතය අත්හිටුවීමට තීරණය කර ඇති බැවින් පොහොර සැපයුම යම් පාලනයකට ලක් කොට ඇතැයි ද සදහන් කළේය.

ගොවියන්ට අවශ්‍ය පොහොරවලින් සියයට හැත්තෑ හයකට (76%) අධික ප්‍රමාණයක් මේ වන විට ගොවිජන සේවා මධ්‍යස්ථාන ඔස්සේ බෙදාහැරීම සිදුකර ඇතත් එහිදී ඇතිවූ අධික ඉල්ලුමක් හේතුවෙන් කෘතීම පොහොර හිඟයක් නිර්මාණය වී ඇතැයි ද අමාත්‍යවරයා කීවේය.

යාපනය දිස්ත්‍රිකයේ සියයට අනූනමයක්, පොළොන්නරුව දිස්ත්‍රිකයේ සියයට අනූදෙකක් සහ අනුරාධපුර දිස්ත්‍රිකයේ පොහොර අවශ්‍යතාවය සියයට සියයක් මේ වන විට සම්පූර්ණ කර ඇතැයි ඒ මහතා ප්‍රකාශ කළේය.

ත්‍රීකුණාමලය හා ගෝමරන්කඩවල ප්‍රදේශවලට මේ වන විට පොහොර ගෙන යමින් පවතින බව කී අමාත්‍යවරයා, පොහොර හිඟයක් පවතින බව දැකිය හැක්කේ යම් පාලනයක් පවතින නිසා යැයි ද කීවේය.

මත්ද්‍රව්‍ය හා කුඩු, ඖෂධ වලට අමතරව ලෝකයේ බලවත්ම ජාවාරමක් බවට රසායනික පොහොර අලෙවිය පත්ව ඇති බව සදහන් කළ අමාත්‍යවරයා, ඒ වෙනුවෙන් රජය වාර්ෂිකව රුපියල් බිලියන සියයක් වැය කරන බව ද වැඩිදුරටත් සදහන් කළේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Social Sharing
නවතම