ලුණු වලට ගිය කලක්!

මාගේ ඥාතී සහෝදරියක් ඊයේ (31) දින රාත්‍රියේ දුරකථනයෙන් අමතා පවසා සිටියේ ලංකාවේ ඉදිරියේදී කහ මෙන් ලුණු හිඟයක් ඇති වන බවත් ඒ නිසා ලුණු පැකට් ගෙනවිත් තබා ගන්නා ලෙසත්ය.

මා එය එතරම් සැලකිල්ලට ගත්තේ නැත. නමුත් මඳ වේලාවකින් මුහුණු පොතේ සැරි සැරූ මට දකින්නට ලැබුණේ ලුණු හිඟයක් ඉදිරියේදී ඇති බව සඳහන් කළ පෝස්ටුය. ඊට හේතු ලෙස සඳහන් කර තිබුණේ ගිනි ගත් නැවෙන් අන්තරාදායක විෂ ද්‍රව්‍ය මුහුදට එක් වීම නිසා ඉදිරියේදී ලුණු නිෂ්පාදනයට බාධා පැමිණෙන බවකි.

මේ ලුණු හිඟ කථාව ගම්වල ලැව්ගින්නක් සේ පැතිර යද්දී කඩවල තිබු ලුණු පැකට් 15-20 ඇතැම් පුද්ගලයින් මිලට ගත්හ. මේ වන විට ඇතැම් කඩවල ලුණු නැත.

මේ පිලිබඳ සත්‍ය අසත්‍ය සොයා අප ලංකා ලුණු සමාගමේ සභාපති නීතිඥ නිශාන්ත සඳබරණ මහතා සම්බන්ධ කර ගත්තෙමු.

Salt shortage in Sri Lanka Ceylon Salt Companyඔහු ප්‍රකාශ කරන්නේ  මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක් වූ නැවෙන් මුහුද තීරයට රසායනික විෂ ද්‍රව්‍ය එක් වුවත් එය ලුණු සෑදීමට කිසිදු බාධාවක් නොවන බවත් ඒ නිසා ජනතාව රටේ ලුණු හිඟයක් ඇති වෙතැයි කිසිදු බියක් ඇති කර නොගන්නා ‌ලෙසටය.

මුහුදු ජලයේ ඇත්තේ සෝඩියම්, ක්ලෝරින් පමණක් නොවන බවත් මැග්නීසීයම්, කැල්සියම් වැනි දේ හා විෂ ද්‍රව්‍ය තිබෙන බවත් මේ මුහුදු ජලය එකපාර රැගෙන ලුණු සාදන්නේ නැති බවත් ඒ මහතා පවසයි.

ඒ නිසා මේ පර්ල් නැවෙන් පමණක් නොව මොනවා තිබුණත් මුහුදු ජලය ලුණු බවට පත් කිරීමේදී පාත්තීයෙන් පාත්තියට ගොස් අවසාන පාත්තියේදී සෝඩියම් ක්ලෝරයිඩ් කියන එක ඉබේම හැදෙන බවද ඔහු පෙන්වා දෙයි.

ලුණු සෑදීමට ගන්නා ජලය ලුණු රසායනාගරය විසින් නිරන්තර පරික්ෂාවට ලක් කරන බවත් එය ගින ගත් නැව පැමිණිමට පෙර සිටම සිදු වු ක්‍රියාවලියක් බවත් සඳහන් කරන නිශාන්ත සඳබරණ මහතා පවසන්නේ SLS /ISO තත්ත්ව සහතික ලබා ගත්තේ ඒ අනුව බවයි.

ලංකාවට ලුණු සපයන ප්‍රධාන සැපයුම්කරු හැටියට රටේ ලුනු හිඟයක් කිසිවිටක ඇති නොවන බවට සහතිකයක් දෙන බව ද ඒ මහතා කියයි.

එක්ලක්ෂ විසිපන්දහත් එක්ලක්ෂ පනස්දහත් අතර ලංකාවේ ලුණු පරිභෝජනය වන අතර 50% /60% ත් අතර ප්‍රමාණයක් ලුණු සපයන්නේ හම්බන්තොටින් බවත් පහුගිය වසර වල ලුණු අතිරික්තයක් ඇති බවත් මේ වන විට මේ කන්නයේ ලුණු නෙලමින් පවතින බවත් අවධාරණය කරන ඒ මහතා පවසන්නේ ලුණු සෑදීමට අවශ්‍ය වතුරද ලබා ගෙන ඇති බවය.

මේ වන විට මෙට්‍රික් ටොන් 14000 ක් පමණ ලුණු නෙලාගෙන ඇති බවත් තව ඉදිරි දින වලදීත් ලුණු නෙලන බවත් වසරකට වඩා තනිව ලංකාවටම ලුණු ලබා දිය හැකි බවද ඔහු සඳහන් කර සිටියි.

ශානි /චන්ද්‍රසේන ගමගේ

Social Sharing
නවතම