රටේ විවිධ මාධ්‍ය වල ඊයේ (31) දවසම කථාබහට ලක් වු මාතෘකා දෙකකි. ඒ් කුරුණෑගල පොලිසීය විසින් කුරුණෑගල නගරාධිපතිවරයාගේ උපන් දිනය සැමරීම හා රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් විජේසිංහ මහතාගේ උපන්දිනය කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පවත්වමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත් වීමේ පුවතය.
සංචරණ සීමා පනවා ඇති අවස්ථාවක, නිරෝධායන නීති නොතකා මොවුන් මෙලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් රටේ සියලු දෙනාගේ අවධානය යොමු වුයේ ඔවුන්ටද නීතීය එක සේ ක්‍රියාත්මක වන බව සොයා බලමිනි.
පිරිත් සජ්ජායනයක් පැවැත්වීම සඳහා පොලීසියෙන් අවසර ලබාගෙන නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතා උපන් දිනය සමරන අයුරු විවිධ මාධ්‍ය වල පළ වී තිබුණි. ඒ් අසලින්ම සිටියේ කුරුණෑගල සහකාර පොලිස් අධිකාරිවරයෙකි. නගරාධිපතිවරයාට උපන්දින කේක් ගෙඩිය ලබා දී ඇත්තේ පොලිසීයෙන් බව පැවසේ.
මේ සිද්ධිය මාධ්‍ය මඟින් අනාවරණය වීමත් සමඟ මෙම සහකාර පොලිස් අධිකාරිවරයා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර ඇත.
එමෙන්ම මේ වන විට එකී නිලධාරියාව කුලියාපිටිය ප්‍රදේශයට මාරු කර යවා ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන පරිදි මෙම සාදය සඳහා පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකුද සහභාගි වී ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ ආයතන සංග්‍රහය අනුව විශේෂ විමර්ශනයක්ද සිදු කිරීමට නියමිතය.
එහෙත් නගරාධිපතිවරයා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන අකාරය ගැන සඳහනක් වන්නේ නැත. මේ පුවත සමාජ මාධ්‍ය ජාලා වල පැතිර යද්දි චන්දිමාල් විජේසිංහගේ සිද්ධිය වාර්තා විය.
සංචරණ සීමා සහ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උපන් දින සාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රකට රූපලාවන්‍ය ශිල්පියෙකු වන චන්දිමාල් ජයසිංහ මහතා සහ ප්‍රකට නිරූපිකා පියුම් හංසමාලි මහත්මිය පොලිස් අත්අඩංගුවට පත් වුයේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදීය.
ඔවුන් දෙදෙනා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීම මුලු රටේම කථාබහට ලක් විය.
ඒ් ඔවුන්ව නිරෝධායනය නොකරන්නේ මන්ද සහ අදාල හෝටලයට නීතීය ක්‍රියාත්මක නොකරන්නේ මන්ද යන්නය.
චන්දිමාල් ජයසිංහ මහතාගේ උපන් දිනය 25 දෙනෙකු සහභාගි වී ඇති අතර ඔවුන්ගෙන් 12 දෙනෙකු මේ වනවිටත් හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
එසේම ඉතිරි පුද්ගලයන්ද හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවද ඔහු සඳහන් කර ඇත.
.ඊයේ දින පියුමි හා චන්දිමාල්ගේ සිදුවීමේදී පොලිසීය ඔවුන්ව ජුනි 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් එමෙන්ම නිරෝධායනයට ලක් කරන ලෙසත් බී වාර්තාවක් මඟින් කොටුව පොලසීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියත් අධිකරණය විත්තියේ නීතීඥයින්ගේ කරුණු සැලකිල්ලට ගනිමින් ඔවුන්ට ඇප ලබා දීමට ක්‍රියා කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පෞද්ගලික රූපවාහීනි නාලිකාවක වැඩසටහනකට එක් වෙමින් පවසා තිබුණි.
චන්දිමාල් හා පියුමි නිරෝධායනය නොකිරීම සම්බන්ධව අයිතිය වෙබ් අඩවිය ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතාගේ විමසා සිටියෙමු.
ඔහු කියා සිටියේ මේ සාදයේ කොවිඩ් ආසාදියෙකු හෝ ආසාදිතයෙකුගේ පළමුපෙළ ආශිත්‍රයෙකු සිටියේ නම් පමණක් සියලු දෙනා නිරෝධයනයට ලක් කළ හැකි බවය.
1897 අංක 03 දරණ නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත සියලූම ආකාරයේ ස්පර්ෂයෙන් බෝවෙන හෝ ආසාධිත රෝග ශ‍්‍රි ලංකාව තුල හා ඉන් පිටතදී පැතිරීම වැලැක්වීම සදහා අවශ්‍ය ප‍්‍රතිපාදන සැලසීම සදහා හඳුන්වා දී ඇත.
පනතේ දෙවන වගන්තියට අනුව රෝග බෝවීම වැළැක්වීම සදහා අදාල වන නියෝග පැනවීම සෞඛ්‍ය අමාත්‍යවරයාට සිදුකල හැකිය.
එම නියෝග පැනවිය හැකි කරුණු 19 ක් පිලිබදව පනතේ තුන්වන වගන්තියේ දක්වා තිබෙන අතර පනතේ 12 වන වගන්තියට අනුව අමාත්‍යවරයා විසින් පනවන නියෝග ගැසට් පත‍්‍රයේ පලකල යුතුය.
මේ ආකාරයට වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරිය වන පවිත්‍රා වන්නිආරච්චි මහත්මියද අංක 2197/25 දරණ කොවිඩ් වැළක්වීමේ නව නීති ඇතුලත් නිරෝධායන ගැසට්ටුවන් නිකුත් කරන ලදි.
ඒ් අනුව නිරෝධායනයට ලක් කළ හැකි පුද්ගලයින් වන්නේ අසාදිතයින්, ආසාදිතයෙකුගේ පළමු පෙළ ආශිත්‍රයින්, විදේස්ගතව සිට පැමිණෙන අය හා ආසාදිත ත්ත්වය සුව වී රෝහලෙන් නිවසට යන පුද්ගලයින්ය.
එසේම මෙම නිරෝධායන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට නෛතිකමය අවසර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යවරිය, සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා හා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ටය.
මෙම ක්‍රියාවලියෙන් බැහැරව අදාල පුද්ගලයින් සම්බන්ධව අධිකරණයට කරුණු වාර්තා කිරීමකින් පසු අධිකරණයේ නියෝග පරිදි නිරෝධායනය කිරීමේ හැකියාව පවතින බව උපුල් රෝහණ මහතා කරුණු පැහැදිලි කරමින් කියා සිටියේය.
එමෙන්ම සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ චක්‍රලේඛයට පටහැනිව කටයුතු කරමින් පුද්ගලයින් නිරෝධායනයට ලක් කිරීම අයුතු රඳවා තැබීමක් වන අතර එය මූලික අයිතිවාසිකම් කැඩීමක් ලෙස සලකන බවද වැඩිදුරටත් ඔහු පැවසුවේය.
ශානි