හානි වූ පරිසරය යථාවත් වෙන්න වසර 20 ක්?

පර්ල් නැවේන් හානි වූ වෙරළ තීරය යථා තත්වයට පැමිණීමට වසර 20 ක පමණ කාලයක් ගත වෙන බවට පරිසරවේදීන් දරණ මතයට තමන්ද එකඟ බව සමුද්‍රීය පරිසර ආරක්ෂන අධිකාරියේ සභාපතිනී දර්ශණී ලහදපුර මහත්මිය පවසයි.

පරිසර ඉතාමත් ඉක්මනින් අනුවර්තනය වුවත් ඇතැම් සංවේදී පරිසර යථා තත්ත්වයට පත් වෙන්නට මෙලෙස කාලයක් ගතවනු ඇති බව ඇය විශ්වාස කරයි.

මේ වන විට නෞකාවේ ගින්න අඩුවී ඇති බවත් නමුත් යම් තරමකට දුමක් සහිත ගින්නක් පවතින හෙයින් ටග් යාත්‍රා 2 ක් යොදාගනිමින් අඛණ්ඩව නැවේ බඳ ප්‍රදේශය සිසිලනය කරමින් පවතින බවද ඇය පවසයි.

මේ වන තෙක් නැවෙන් තෙල් කාන්දු වීමක් පිලිබඳ වාර්තා වී නොමැති බවත් තෙල් විසිරීමක් වුවහොත් එය විශාල අභියෝගයක් වනු ඇතැයිද පෙන්වා දෙන ඇය නිගමනය කරන්නේ ඇතැම් විට නැවේ තෙල් ගින්නට  දැවී යන්නට  ඇතැයි හෝ තවමත් තෙල් පැල්ලම දෙසට ගින්න ළඟා වී නොමැති බවකි.

මේ වන විට වෙරළ තීරයට දැඩි හානියක් ඇති වී ඇති බවත් විශේෂයෙන් නැවේ තිබු ප්ලාස්ටික් බීන් වෙරළ පුරා විසීරි ගොස් ඇති බවත් මේවා හැකි ඉක්මනින් වෙරළෙන් ඉවත් කර පවිත්‍ර කිරීමට  සැලසුම් මේ වනවිටත් ක්‍රියාත්මක කර අතැයිද ඇය පෙන්වා දෙයි.

ඒසේම මේ ප්ලාස්ටික් බීන් සියල්ලම පවිත්‍ර කිරීමේ හැකියාවක් නොමැති බව සඳහන් කරන ඇය පවසන්නේ මේවා කොරල්පර වැනි ස්ථාන වල රැඳීමෙන් ඒවා විනාශ වීමේ හැකියාවක් ඇති බවය. ප්ලාස්ටික් යනු සාගරයට විශාලතම හානිකර දෙයක් බව පෙන්වා දෙන ඇය පවසන්නේ මෙය අද වන විට මුලු ලෝකයටම ගැටලුවක් වී ඇති බවය.

දැනට පොලිස් පැමිණිල්ලක් සිදු කර ඇති බවත් පසුව ඉදිරි නීතිමය පියවර ගන්නා බවද මේ වන විට දත්ත එකතු කිරීමේ ක්‍රියාවලියේ නිරතව සිටින බවද ඇය පවසයි.

හානි වු වෙරළ තීරය පවිත්‍ර කර ගන්නා තුරු ඒ පැත්තටවත් නොයන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව පවසන ඇය අවධාරණය කරන්නේ වැඩිම හානිය දික්ඕවිට වෙරළ තීරයේ සිට ඉහළ දෙසට බවය.

-ශානි-

Social Sharing
නවතම