ගොවියා කබලෙන් ලිබට ඇද දැමූ පොහොර අර්බුදය!

මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර හිඟයකින් තොරව ගොවීන්ට ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබුණේ ඊයේ (27) දිනය.

මේ සඳහා සියලු අංශ සම්බන්ධ කරගත් පුළුල් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වීමේ වැදගත්කමද පෙන්වන ජනාධිපතිවරයා පවසා තිබුණේ වෙනුවෙන් කාබනික පොහොර නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවිය යුතු බවත් නිෂ්පාදනය කෙරෙන පොහොර ප්‍රමාණය කෙරෙහි සෑහීමකට පත් නොවන්නේ නම් ඉහළම ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර අවශ්‍ය ප්‍රමාණයට ආනයනය කරන ලෙසටය.

ජනාධිපතිවරයා රසායනික පොහොර ගෙන්වීම තහනම් කිරීම නිසා මේ වන විට වෙළඳ පොලේ දැඩි පොහොර හිඟයක් මතුව ඇත. කිසිදු ඉදිරි සැලැස්මකින් තොරව එක්වරම රසායනික පොහාර ආනයනය කිරීම තහනම් කිරීම සුදුසු නැති බව එහිදී ගොවීන්, පොල්,තේ, රබර් වැවිලි සංගම් කොතෙක් පෙන්වා දුන්නද ජනාධිපතිවරයා දැඩිව ඔහුගේ මතයේම සිටියේය.

මේ නිසා මේ වන විට සියලු ගොවිතැන්, තේ, පොල්, රබර් වගාවන් සඳහා යෙදීමට පොහොර නැති තත්වයකට පත්ව ඇත.

නිරෝගී සහ ඵලදායී පුරවැසියෙක් බිහිකිරීමට වස විසෙන් තොර ආහාර වේලක් සඳහා වූ ජනතා අයිතිය ගෝඨාභය රාජපක්ෂගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සටහන් වු අතර එය යථාර්ථයක් බවට පත්කිරීම උදෙසා මෙරට කෘෂි කර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමුකිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මීට පෙර පැවති රාජපක්ෂ පාලන සමයේදීද මේ වස විසෙන් තොර ආහාර ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් පැවතුණි. එකල මේ වැඩ සටහනේ ප්‍රමුඛත්වය ගෙන ක්‍රියා කළේ පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ය. උතුරු – නැගෙනහිර පළාත් වල වස විසෙන් තොරව ගොවිතැන් කිරීමට ගොවීන් පොළඹවා තිබු අතර රට පුරාම වස විසෙන් තොර ආහාර ප්‍රචලිත කරමින් විවිධ වැඩසටහන්ද ක්‍රියාත්මක කරනු ලැබුණි.

ඒ අතර හෙළ බොජුන් හල් විවෘත විය. අමාත්‍යාංශ ආපනාශාලා වල වස විසෙන් තොර සකසා ගත් ආහාර අලෙවි කරන්නට විය. එකල වස විසෙන් තොර රැල්ලක් පැවති බව කිවහොත් වැරදි නැත.

මේ අතර කොළඹ මාධ්‍ය ආයතන වල මාධ්‍යවේදීන් උතුරු- නැගෙනහිර පළාත් වල සිදු කෙරෙන දේශීය ගොවිතැන් පිලිබඳ පෙන්වීමට රැගෙන ගියහ. ඒ ගිය ගමනකට ලියුම්කරුටද සහභාගි වීමට හැකි විය. එහිදී මුතූර්, කින්නියා, කන්තලේ ආදි ප්‍රදේශ වල ගොවීයන් මාධ්‍යවේදීන්ට මුණ ගැස් වුහ. නමුත් එහිදී කිසිවිටෙකත් මාධ්‍යවේදීන්ට එම ගොවීයන් හා තනිවම කථා කිරීමට ඉඩ ලබා නොදීමට ඒ සංවිධායකවරුන් දැඩි උත්සහයක නියැලුණි.

මේ අතර ලද අවස්ථාවක ලියුම්කරු විසින් තනි වු අවස්ථාවක ගොවි මහතෙකු හා කථා බහ  කිරීමේදී  ඔහු පවසා සිටියේ කාබනික පොහොර විතරක් දාලා මේවා කරන්න බැහැ නෝනා, අපි රසායනික පොහොරත් ටිකක් දානවා යනුවෙනි.

ඒ කාලයේ තිබු මේ වස විසෙන් තොර වැඩසටහන කාලයේ අවෑමෙන් වියැකී ගියහ. දැන් මේ නව වැඩසටහනක් ලෙස වත්මන් ජනාධිපතිවරයා ක්‍රියාත්මක කිරීමට උත්සහ ගනිමින් සිටින්නේ යළිත් ඒ වැඩසටහනමය.

මෙරට ප්‍රධාන පොහොර සමාගම් 05 ක් වේ. ඒ CIC පොහොර සමාගම, ලක් පොහොර, ඇග්‍ර්ස්ටා, කොමර්ෂල් හා බවර් පොහොර සමාගම්ය. මේ වන විට මේ පොහොර සමාගම් වල රසායනික පොහොර නැත. ඔවුන් දිවයින පුරා බෙදා හැරී පොහොර අලෙවි නියෝජිතයෝ අද අසරණ වී සිටියි.

මේ සම්බන්ධව අයිතිය පොහොර අලෙවි නියෝජිත මහතෙකුගෙන් විමසා සිටි විට ඔහු කියා සිටියේ දැන් කඩේට කිසිදු රසායනික පොහොරක් ලැබෙන්නේ නැති බවය. කාබනික පො‌හොර පැවතියද ඒවා ඉ්ල්ලුමට සැපයීම් කළ නොහැකි බව ද ඔහු පෙන්වා දුන්නේය. පොහොර සමාගම් කාබනික පොහොර වෙළඳපොලට දැමීමට කාලයක් ගත වෙනු ඇති බව ඔහු විශ්වාස කරයි.

අද ගොවියන් පොහොර නැතුව කබලෙන් ලිපට වැටෙන තත්ත්වයකට පත්ව ඇත. මෙයට වගකිව යුත්තේ කවුරුන්ද?

-ශානි-

Social Sharing
නවතම