ආණ්ඩුව බිලි පූජාවක් කරන්නේ – පාලිත රංගේ බණ්ඩාර

මේ වන විට කොවිඩ් තුන්වන රැල්ල ද ආරම්භ වෙමින් දහස් ගණනින් ජිවිත අහිමිව යන බවත් මෙය ආණ්ඩුව කරන බිලි පුජාවක් ලෙස දකින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

මේ රටේ ඇතිවන සෑම මරණයකටම මේ රජය වගකිව යුතු බවද ඔහු කියා සිටියි.

රටේ මෙහෙම ව්‍යවසනයක් ඇති වෙන බව විපක්ෂ නායකවරයා ගිය පළමු රැස්වීමේදීම අනාවරණය කළ බවත් ඉන්පසුව කිසිදු රැස්වීමකට පිළිගත් දේශපාලන පක්ෂයක් සහභාගි කර නොගැනීමට ආණ්ඩුව කටයුතු කළ බව පවසන ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුව විපක්ෂ නායකවරයාගේ උපදෙස් පිළිනොගන්නා නිසා යළි කැඳවීමෙන් වළකින්නට ඇති බවය.

PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කරන්න කියා විපක්ෂය ඉල්ලා සිටියදී ආණ්ඩුව සිදු කළේ දිනෙන් දින ඉහළ යන කොවිඩ් ආසාදිතවුවන් වසන් කර ගැනීමට PCR පරීක්ෂණ නවතා දැමීම බවත් එසේම මේ පරීක්ෂණ කිරීමට පෞද්ගලික අංශයටද ලබා දී තිබු අවසරය අහිමි කළ බව ඔහු පවසයි.

ආණ්ඩුව මේ තොරතුරු වසන් කිරීමට ගන්නා උත්සහය පිලිබඳ පහුගියදා රජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින්ද තහවුරු කළ බව ඔහු සිහිපත් කර සිටියි.

එසේම කොවිඩ් එන්නත්කරණයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය මාර්ගෝපදේශ මාලාවක් ලබා දුන්නත් මේ ආණ්ඩුව එය ක්‍රියාත්මක නොකර ඔවුන්ට අවැසි පරිදි එන්නත්කරණය සිදු කල බවත් දැන් ඉතිරි එන්නත් ටික ලබා ගැනීමට මුදල් නොමැතිව සිටින බවද පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියි.

රටේ ආර්ථිකය කඩා වැටී ඇති නිසා රට වැසීමට නොහැකි බව පහුගියදා රජය විසින්ම ප්‍රකාශ කර තිබු බවත් දැන් සිදුව ඇත්තේ ආර්ථිකය පමණක් නොව රටේ මිනිස් ජිවිතද අහිමි වී යාමක් බව ඔහු පෙන්වා දෙයි.

අත්දැකීම් නැති. අදූරදර්ශී පිරිසට රට භාර දුන් විට මෙලෙස සිදු වන බවත් දැන් වළඳත් නැහැ හැන්දත් නැති තැනට පත්ව ඇතැයිද ඔහු පවසයි.

අද රට මෙච්චර ව්‍යවසනයකට ලක් වී තිබියදී රජය ගිලන් රථ 50 කට මුවා වී සුඛෝපභෝගී වාහන 227 ක් ගෙන්වීමට කටයුතු කරමින් සිටින බවත් මෙය හරියට නංගී පෙන්වා අක්කා දීමක් යැයිද ඔහු වැඩිදුරටත් කියා සිටියි.

-ශානි-

Social Sharing
නවතම